Saturday, November 16, 2024

බැසිල්ගෙන් ඉල්ලීමක්

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ තමාට එරෙහිව පවරා ඇති නඩුවක් වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද(03) සලකා බැලුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලබන 26 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැඟුම අරමුදලෙන් මුදල් වැය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

එම නඩුව මේ වන විට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වෙමින් පවතින බව ද බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

කෙසේවෙතත් ගිහාන් කුලතුංග මහතා විසින් ඉකුත් දා සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබා දීමේදී පසුගිය රජය සමයේ රාජ්‍ය නිලධාරීන්, බලපෑම්වලට යටත්ව කටයුතු කර ඇති බවට විනිසුරුවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

එවැනි ප්‍රකාශයක් සිදුකළ විනිසුරුවරයෙකුගෙන් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බැවින් තමන්ට එරෙහිව එම විනිසුරුවරයා හමුවේ ඇති නඩුව වෙනත් විනිසුරවරයෙකු වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles