Saturday, October 19, 2024

පළමු දිවා-රාත්‍රී ටෙස්ට් ගැටුමෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. අබුඩාබි පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 21ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රී ටෙස්ට් තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකාව රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කළ ඓතිහාසික පළමු දිවා-රාත්‍රී ටෙස්ට් තරගය මෙයවූ බැවින් වසර 35ක ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවේ අමරණීය ජයක් ලෙස ක්‍රිකට් වාර්තා අතර සටහන් විය.

ඉන්දියාව හමුවේ පසුගිය මාසයේ නිමාවූ ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග සියල්ල පරාජයවී බොහෝ දෙනාගේ කතාබහට ලක්වී සිටි ශ්‍රී ලංකා පිල ඕනෑම මොහොතක නැගී සිටිය හැකි කණ්ඩායමක් බව යළිත් වරක් ලොව හමුවේ තහවුරු කිරීම මේ සම්පූරණ තරගාවලි ජයග්‍රහණයේ විශේෂත්වයකි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 317ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන දෙවැනි ඉනිම ලකුණු 248කට කඩා බිඳ හෙලීමට සමත්වූ දිල්රුවන් පෙරේරා කඩුලු 5ක්, රංගන හේරත් කඩුලු 2ක්, ලක්මාල්, ගමගේ හා ප්‍රදීප් එක කඩුල්ල බැගින් බිඳ හෙලූහ. මේ තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් දිමුත් කරුණාරත්නගේ ලකුණු 196 ශ්‍රී ලංකා ජයග්‍රහණයට අගනා ඉනිමක් විය. කාසියේ වාසිය ද සමග ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී පළමු ඉනිමට ලකුණු 482ක් හා දෙවැනි ඉනිමට ලකුණු 96ක් ලබාගත් අතර පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 262ක් වාර්තා කළේය.

පාකිස්තානය වසර 16ක ඉතිහාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලියක් පරාජයවී කිසිවෙකුට දෙවැනි වී නොසිටියද මෙදා ශ්‍රී ලංකා පිල හමුවේ පිට පිට තරග දෙකකින්ම ලැබූ පරාජයෙන් අසරණ තත්ත්වයට පත් විය. එබැවින් වසර 2001 සිට එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ටෙස්ට් තරගවලට සහභාගීවී ඇති පාකිස්තානයේ අපරාජිත බව චන්දිමාල් ප්‍රමුඛ කණ්ඩායම බිඳහෙලීම කිසිවෙකුට හෝ අමතක නොවනු ඇත.

වසර 2009 සිට පාකිස්තානයේ ටෙස්ට් තරග ක්‍රිඩා නොකිරීමෙන් ඔවුන්ගේ සත්කාරක රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැණුනි. 2001 දී පාකිස්තානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කොදෙව් පිල සමග මුල්ම ටෙස්ට් තරගාවලියට සහභාගීවී තරග 2-0කින් ජය ලැබීය.

පෙරේදා සිවුවැනි දිනට තරගය නතර කරද්දී අෂාඩ් සෆීක් නොදැවී ලකුණු 86ක් හා සෆ්රාස් අහමඩ් නොදැවී 57ක් ලබා සිටි බැවින් මේ තරගයේ ජයග්‍රහණය දෙපිලටම විවෘත එකක් වී තිබුණි. ඊයේ දිනයේ මුල්ම ඕවර් 3කදී තවත් ලකුණු 14ක් ඉක්මණින් ලැබූ අසාඩ් ෂෆීක් තම 11වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. එය අසාඩ්ගේ ටෙස්ට් ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වූයේ පාකිස්තානය ලකුණු 55කට කඩුලු 5ක් බිඳවැටී අසීරු තත්ත්වයකදී පිටියට පැමිණ අසීරුවෙන් ගොඩනැගූ ඉනිමක් බැවිනි.

සෆ්රාස් අහමඩ් ලකුණු 67දී දිල්රුවන්ගේ පන්දුවකට පළමු ස්ලිප් හී සිටින දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක්දී එය රැක ගැනීමට අසමත්වුවද දිල්රුවන්ගේ ඊළඟ ඕවරයේදී සෆ්රාස් එල්ල කළ ස්විප් පහර ‘ස්කුවෙයාර් ලෙග්’ හී සිටි නුවන් ප්‍රදීප් රැක ගැනීමෙන් ශ්‍රී ලංකාවට එල්ල වෙමින් තිබූ පීඩනය ගිලිහී ගියේය. සෆ්රාස් අහමඩ් පන්දු 130කදී හතරේ පහර 5ක් සමග රැස්කළ ලකුණු 68 ටෙස්ට් පිතිකරුවකුගෙන් කණ්ඩායමට ලැබුණු අමිල මෙහෙවරක් බදුය.

පාකිස්තාන පිතිකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව 6වැනි කඩුල්ලට ටෙස්ට් තරගයක ගොඩනැගූ හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තා පොතට එක්වූ සෆ්රාස් හා අෂාඩ් ලකුණු 173ක සම්බන්ධතාවක් ගොඩනැගීම ශ්‍රී ලංකාවට යම් හිසරදයක්වී තිබුණි.

සෆ්රාස් දැවී යද්දී පාකිස්තාන ලකුණු තත්ත්වය 225ක්වූ අතර තවත් ලකුණු 5ක් එක් වෙද්දී මොහොමඩ් අමීර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට දිල්රුවන් සමත් විය. එය දිල්රුවන්ගේ 90 වැනි ටෙස්ට් කඩුල්ල වූ අතර ඉනිමකදී ටෙස්ට් කඩුලු 5ක් බිඳහෙලූ 5වැනි අවස්ථාව විය.

ලකුණු 104ක් ලබා සිටියදී ළහිරු ගමගේගේ පන්දුවකට සෆීක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොට දැවී ගිය බව නයිජල් ලෝන් විනිසුරු තීරණය කළ අතර පාකිස්තාන පිතිකරු රූපවාහිනී පුනරූපන මගින් එය නැවැත පරීක්ෂාකරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී දක්නට ලැබුණේ වම් ඉන්න කෙලින් පතිත පන්දුව ලෙග්ස්ටම්ප් හී ගෑවී නොගැවී ඉවතට යන ආකාරයයි.

පාකිස්තාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල බිඳහෙලූ රංගන හේරත් යසීර් ෂා වෙත යැවූ පන්දුවට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී දික්වැල්ල ස්ටම් කිරීමෙන් 8වැනි කඩුල්ල බිඳ වැටුණි. හේරත්ගේ දග කැවෙන පන්දුවෙන් ශ්‍රී ලංකාව අවශ්‍යම මොහොතක දී එම කඩුල්ල බිඳහෙලා ගත්තේය. අවසන් කඩුලු දෙක ලකුණු 4ක් තුළදී බිඳ වැටීමෙන් පරාජිත පාකිස්තාන ඉනිම නිමාවට පත් විය.

දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මේ 13වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles