Saturday, November 16, 2024

නාමල් කියන ලියවිල්ලක්‌ මං උසාවියට දුන්නේ නෑ

හම්බන්තොට උද්ඝෝෂණයට සම්බන්ධ වූවන් නිදහස්‌ කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලදැයි කියන ලිපියක්‌ සම්බන්ධයෙන් මහින්ද අමරවීර ඇමැතිවරයා විසින් නිවේදනයක්‌ නිකුත් කර ඇත. එය මෙසේය.

මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙන් පැවැති උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර කිහිප දෙනෙක්‌ 16 දා ඇපපිට නිදහස්‌ කරන ලද අවස්‌ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක්‌ ජනමාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කරන ලද්දේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා විසින් ඔවුන් නිදහස්‌ කිරීමට විරුද්ධතාව දක්‌වමින් අධිකරණය වෙත ඉදිරිපත් කළ ලියවිල්ලක්‌ අධිකරණය විසින් නොසලකා හරිමින් ඉවත දමන ලද බවයි. එමෙන්ම එහිදී ඔවුහු මාධ්‍ය වෙත දැඩි ලෙස මා සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් මගේ ප්‍රතිරූපයට හානි වන පරිදි අදහස්‌ ඉදිරිපත් කළහ.

එහෙත් එම ප්‍රකාශ මුළුමනින්ම අසත්‍යය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් හෝ සාමාන්‍ය පුද්ගලයෙක්‌ වශයෙන් හෝ අමාත්‍යවරයෙක්‌ වශයෙන් හෝ මවිසින් එවැනි ලියෑවිල්ලක්‌ අධිකරණය වෙත ඉදිරිපත් නොකළ බව මා තරයේ ප්‍රකාශ කරමි.

එක්‌කෝ නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස මා සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක්‌ කළේ හිතාමතා මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට හෝ මට ප්‍රහාර එල්ල කිරීමට යෑයි මම සිතමි. එසේ නොමැති නම් කරුණු වරදවා වටහා ගැනීමක්‌ විය හැකිය.

නමුත් මෙම කාරණය මවිසින් ලඝූකොට නොසලකමි. ගරු අධිකරණයට මවිසින් ඉදිරිපත් කළා යෑයි ඔවුන් ප්‍රකාශ කරන එම ලියෑවිල්ල කුමක්‌දැයි සෙවීම හා එහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමකි. කෙසේ වුවද එවැනි ලිපියක්‌ මවිසින් අධිකරණයට ඉදිරිපත් කරනවා තබා එවැන්නක්‌ මවිසින් නොසිතූ බවද පවසමි.

එම නිසා මම මේ සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය සොයා බැලීම පිණිස නීතිපතිතුමන්ට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද, එවැනි ලියෑවිල්ලක්‌ ඉදිරිපත්වී නැතිනම් එය මොවුන් විසින් අධිකරණයට කරන ලද අපහාසයක්‌ බවද පවසමි.

එම නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් නීත්‍යනුකූලව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට මම අපේක්‍ෂා කරන බවද ප්‍රකාශ කරමි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles