සමහර දේවල් කෙළවර වෙන්නේ පටන් ගන්න තැනින් නෙවෙයි. වඩේ ඉවර වෙනකොට ‘ඇඩ්‍රසුත්’ නෑ. ඒ තරටමට නාහෙටත් උඩින් වතුර ගිහින් ඉවරයි. මේ කොළඹ සමාජයේ නම් ඒ වගේ කතා එමටයි. දියුණු වෙන්න ආපු සමහරු දියුණු වුණා. දිනන්න ආපු සමහරුන් දිණුවා. ඒ වගේම දිනන්න, දියුණු වෙන්න හිතාගෙන ආපු සමහරුන් ‘වළ පල්ලටම’ වැටුණා. කොළඹ කියන්නෙ මිනිස්සු හදපු වගේම අතරමං වුණු නගරයක්. වරද තියෙන්නේ නගරයේ නෙවෙයි, ඒ සමාජයේ විවිධ පැතිකඩ තුළයි. මේකත් හරියට සත්තිගුම්භ ජාතකය වගේ තමයි. තාපස ආරාමයට ගසාගෙන ආපු ගිරවා හොඳ දේවල් කතා කරන්න පුරුදු වුණා. සොරු මුල ළඟට වැටුණු ගිරවා නරක නපුරු වචනයට පුරුදු වුණා.
මේ ලිපි මාලාවෙන් අද කියැවෙන්නෙ කොළඹ ඇවිත් ජීවිතේ පටලවා ගත්තු තවත් කෙනෙකුට සම්බන්ධ සත්‍ය කතාවක්.
මාෂා උපතින්ම වැදගත් ගරු ගාම්භීර පවුලකට හිමිකම් කියන්නියකි. ඈ පදිංචිව සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ සුන්දර ප්‍රදේශයකය. මාෂාගේ මව පාසල් ගුරුවරියක් වූ අතර පියා ව්‍යාපාරවලට සම්බන්ධ යම් රැකියාවක යෙදෙන්නෙකි. පවුලේ සහෝදර සහෝදරියන් දෙතුන් දෙනා අතර මාෂාට තිබුණේ කාත් වසඟයට ගත හැකි රූ සපුවකි. එනිසාම ගම්පහ ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගත් ඇයට පාසලේ නොයෙක් වැඩසටහන්වලදී යම් යම් අවස්ථා හිමි විණි. මාෂා ඉගෙනීමට අදක්ෂ යැයි කීම වැරදි සහගතය.
“මම සා/පෙළ ඉහළින් පාස් වුණා. උසස් පෙළ කළෙත් එම පාසලේමයි. නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට කරන්න කල්පනා කළා. මොකද මගේ රූමත් භාවය එක්ක අනාගතේ හොඳ රැකියාවක් කරන ගමන් අවස්ථාව ලැබුණොත් ටෙලිනාට්‍යයක රඟපාන්න අාසාව තිබුණා. මම උසස් පෙළ විභාගයත් සමත් වුණා. ඒත් රැකියාවක් ගැන මුලින් තිබුණු අදහස ටිකක් ඈතට ගියා. ගෙදරට වෙලා මාස පහ හයක් ඉන්නකොට යාළුවෙක් කතා කළා.
‘මාෂා නිකම් ඉන්නෙ මොකටද බං, බියුටි කෝස් එකක්වත් කරපන්’ කියලා. ඒ අනුව මම කොළඹට නුදුරු ප්‍රදේශයක සැලූන් එකකට පුහුණුවට ගියා. ඇත්තටම සැලූන් එකකට ගියා කියලා මට මුදලක් ඉතුරු කරගන්න වුවමනාවක් තිබුණේම නෑ. මම ගියේ ආසාවට විතරයි. එහෙම මාසයක් විතර යද්දී තමයි මට රොෂාන් හමු වුණේ. හරි අවංක කෙනෙක්. ඒක මම අදටත් පිළිගන්නවා. යාළු වුණු දවසේ ඉඳන් රොෂාන් මාව හුඟක් ආරක්ෂා කළා. එයා කොරියාවේ රැකියාව කරන කෙනෙක්. මට හමු වුණේ ඔහු නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ.”
මාෂා කියන්නීය. උදේ – හවා ඇයව ගන්නටත්, ගෙදර කැඳවා යන්නටත් රොෂාන් ආව ගියේ මෝටර් බයිසිකලයෙනි. රොෂාන්ගේ පවුල් පසුබිම මාෂාට ගැලපුණු නිසාත්, ආදරය – රැකවරණය දෙන සෙනෙහෙබර පෙම්වතකු නිසාත්, එය ගෙවල්වලට කියන්නට දෙදෙනාම කල් යැව්වේ නැත. එය දයාබර අතීතයකි. ගෙදර අයගේ ආශිර්වාදය ඇතිව මාෂා සහ රොෂාන් විවාහ ගිවිස ගත්හ. විවාහ ගිවිසීම දක්වා රොෂාන් ලංකාවේ ගත කර නැවත කොරියාවේ රැකියාවට පිටත්ව ගියේය.
“මාෂා මම ඊළඟ පාර එන්නේ වෙඩින් එකට. ඔයාත් සල්ලි ටිකක් ඉතිරි කරගන්න. ඔයාටත් එක්ක මම වියදම් දෙන්නම්.”
රොෂාන් එතරම්ම පරාර්ථකාමියකු විය. එයට හේතු වූයේ මාෂාට බියුටි සැලූනයෙන් ලැබෙන සොච්චම ‘ගෑවෙන්නටවත් මදි’ වූ නිසාය.
“රොෂාන් ගියාට පස්සේ එයා මට මාසයකට රු. තිස් දාහ ගාණේ එවනවා ඉතුරු කරගන්න කියලා. මම ඉතුරු කළේ නෑ. මම පිළිගන්නවා, මමයි වැරදි, රොෂාන් සීයට දාහක් හොඳයි, අවංකයි කියලා. සැලූන් එකට යද්දී මට පිරිමි යාළුවෝ කීප දෙනෙක් ඇසුරු කරන්න ලැබුණා. ඒ අය එක්ක මම විටින් විට කාමරවලට ගියා. රොෂාන් වෙඩින් එකට කියලා එවන සල්ලිත් අන්තිමේ ඒ කොල්ලන්ටම වියදම් කළා. සමහර දාට රූම්ස්වලට ගෙවුවෙත් රොෂාන් දුක් මහන්සි වෙලා එවපු සල්ලි. මම කරුමක්කාරියක් වෙන්නෙ ඒ නිසා.
ඒ වගේම මම අන්ලිමිට් (Unlimit) විලාසිතා කළා. රූපෙට, ඇඳුම පැළඳුමට වියදම් කළා.”
මේ සියල්ල අතරේ මාෂා දෝලනය වෙමින් සිටියාය. ලංකාවේ පෙම්වතුන් කී දෙනෙක් සිටියත් ඇය රොෂාන්ට කතා නොකර සිටියේ නැත. එය අවසානයේ හරියට මුදලට කරන කුලී වැඩක් බවට පත් විය. රොෂාන් මාසිකව එවන සල්ලි බලාපොරොත්තුවෙන් කරන ආදරණීය ඇමතුම් බවට පෙරළිණ.
“මෙහෙම ඉන්න අතරේ මම සැලූන් කීපයකට මාරු වෙමින් ගියා. මාසෙන් මාසෙ සැලූන් මාරු කරනවා. එහෙම සිටියදී මගේ මිතුරියක් කිව්වා, ‘මාෂා මචන් නාට්‍යයක රඟපාන්න කෙල්ලො ගන්නවා කියලා ඇඩ් එකක් දැක්කා’ කියලා. මටත් අැඩ් එක පෙන්නුවා. ඒ එක්කම අපි කෝල් කළා. මමයි – යාළුවයි දෙන්නම ගියා. මාව තේරා ගත්තා. එතන හිටපු කැමරාමන් අයියා කෙනෙක් මට ළං වෙන්න උත්සාහ කළා. අතින් අත ගිය මට ඒක දෙයක් ද? මම එයාටත් කැමති වුණා. දවසක් වෙෙළඳ දැන්වීමක් ෂූට් කරන්න අපි නුවරඑළි ගියා. ඒ ගමන සතියක්. කොහොම හරි රොෂාන් ලංකාවට එන දවසේමයි මට ඇඩ් එකේ ෂූට්වලට යන්න වුණේ. ඒත් කරන්න දෙයක් නෑ.
සතියම නුවරඑළියේ. එ් මදිවට කැමරාමන් එක්ක කාමරවල තනි වෙන්නත් වුණා. දවස් කීපයකට පස්සේ රොෂාන් නුවරඑළි ආවා. එයා මා එක්ක රණ්ඩු කළා. මම වෙනස් වෙලා කිව්වා. බැන්නා. මම ඒ එකක්වත් පිළිගත්තේ නෑ. ‘කෝ ඉතුරු කරපු සල්ලි’ ඇහුවම මම කිව්වා ඒවා මගේ වියදමට ගත්තා කියලා. මමත් රොෂාන්ට හොඳටම බැන්නා. අන්තිමේ රොෂාන් මම ඉස්සරහම අපේ ගෙදරට කතා කරලා එයාට අාරංචි වුණු වැරදිත් කියමින් මාව දික්කසාද කරනවා කිව්වා. විවාහ උත්සවේ ගන්න ලංකාවට ආපු රොෂාන් අවසානයේ කළේ දික්කසාද වෙන්න නඩු ෆයිල් කරපු එක. මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ. මම කරපු දේවල්වල හැටියට රොෂාන් එහෙම නොකළ නම් තමයි පුදුමේ.”
මාෂා අද ඒ ගැන කියන්නේ කඳුළු පුරවාගෙනය. රොෂාන් සහ මාෂා දෙදෙනාට දික්කසාදය ලැබීමට බොහෝ කල් නොගෙවිණ.
රොෂාන්ගේ හැරයාම මාෂාට එදා තදින් දැනුණේ ආදරය, සෙනෙහස, රැකවරණය නැමැති සන්ධිස්ථානය හරහා නොවේ. ඇයට ඒ හැඟීම දැනුණේම මුදල් අහේනිය අතිනි. රොෂාන් මාසිකව දුන් රුපියල් තිස් දහස දැන් මාෂාට ලැබෙන්නේ නැත. කළ යුත්තේ කුමක් ද? මාෂා දිගින් දිගටම කල්පනා කළාය.
“ඇත්තටම පිරිමි ඇසුර නිසා මට රොෂාන්ගෙ ආදරය විශේෂ වුණේ නෑ. මට දැනුණේ සල්ලි නැතිකම. මම සැලූන් එකක මිතුරියකට මේක කිව්වම එයා දන්න ස්පා එකකට සෙට් වෙන්න කැමති ද ඇහුවා. සල්ලිත් හොඳට ගෙවනව. රොෂාන් දුන්න තිස් දාහ වගේ නෙවෙයි, ලක්ෂයක් විතර ලැබෙනවා. දෙපාරක් හිතන්න කිසිම තැනක හිස්තැනක් නෑ. කොළඹ වැඩකරලා හුරු මම ස්පා එකට ගියා. ගාලු පාරේ තැනක්. එතන සුපිරි තැනක්. ලොකු ලොකු අය එන්නේ. මාත් සතුටින් වැඩ කළා. දවල් – රෑ දෙකම. වැඩ ඉවර වුණාම කොල්ලුපිටියෙන් ගත්ත බෝඩිමට යනවා. ඇත්තටම විනෝදකාමී ජීවිතයක්. මට තවම වයස අවුරුදු 26යි. අදත් මම කොල්ලුපිටිය බෝඩිමේ ඉන්නේ.”
මාෂා සම්බාහන මධ්‍යස්ථානයේ වැඩ කරන අතරේ එහි ප්‍රධානියාගෙන් මාෂාට ඇරයුමක් ලැබිණි.
‘මාෂා වැඩක් කරන්න තියනවා. මාෂා මට විශ්වාසයි. මම ඔයාට හොඳට ගෙවනවා. තවත් හොඳ ගාණක් වැඩිපුර දෙනවා. ඔයාට ස්කූටි බයික් එකකුත් දෙනවා තියාගන්නම. ඔයාට තියෙන්නේ මම දෙන පාර්සල් මම කියන තැනට ගිහින් දෙන්න විතරයි. හැමදාම මේ වැඩේ නෑ. සතියට දවසයි මේක තියෙන්නේ. මම කියන තැන්වලට ඔයා දීලා එන්න.’
ඒ අනුව මාෂාට අපූරු ස්කූටියක් ලැබිණි. අව් කන්නාඩියක් දමාගෙන ජැකට් එක දාගන්නා ඇය ස්පා එකෙන් එළියට පැමිණි කල පොදු සමාජයට සුරූපිනියකි. එ්වා කුඩු පාර්සල්ය.
“ඒවා ගෙනියද්දී මාව පොලිසියෙන් නතර කළා. ලයිෂන් ඉන්ෂුවරන්ස් සුපුරුදු පරිදි බැලුවා. යන්න කිව්වා. කවුරු හරි අැහුවොත් මොකද කරන්නේ කියලා ‘මම නිළියක් කියනවා’ මොකද මම වෙළෙඳ දැන්වීම්වල රඟපාපු නිසා.”
ඒ අනුව මාෂා යනු කොළඹට නුදුරු ප්‍රදේශ කීපයකට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන යුවතියක බවට අවසානයේ පත් වූවාය.
මේ පිළිබඳ තොරතුරු මත ඇය කොටු වූ වාර ද ඇත.
එහෙත් මේ ඇගේ රැකියාව නොවේ. මාෂා යනු සම්බාහන යුවතියකි. ඇය වරදින් වරදට ගියේ කාගේ වරදින් ද? ඇය ජීවිතය වරදවා ගෙන ඇත.
සම්පූර්ණයෙන් ජීවිතය පටලවා ගත් මාෂා දැන් ගෙදර යන්නේ නැත. ඇය සම්බාහනය ජීවිතය කරගෙන විනෝදකාමී සමනළියක වී ඇත. ඒත් ඇයට දුකක් ඇත.
ඒ තමන්ගේ අවංක පෙම්වතාට බොරු නොකළා නම් ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කර ගන්නට තිබුණා කියාය. එබැවින් අතරමං වූ ජීවිතය ගැන විටෙක මාෂා කඳුළු සලන්නීය.
සත්‍ය කතාවක් ඇසුරින් මනඃකල්පිත නම් ගම් සහිතව සටහන් තබා ඇත.
බුද්ධි තොරතුරු රහසිගතයි.