Tuesday, September 24, 2024

උසාවියට අපහාස කළැයි රන්ජන්ට එරෙහි නඩු

අධිකරණවල නඩු විභාග කරන විනිසුරුවන් බහුතරයක්‌ දූෂිතයන් යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාසයක්‌ කළැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි 02 ක්‌ සම්බන්ධයෙන් ඔහු ඊයේ (25 දා) ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර නැවත ලබන මස 21 වැනිදා නඩුව කැඳවීමට විනිසුරු මණ්‌ඩලය නියෝග කළේය.

මාගලකන්දේ සුදන්ත හිමි සහ නුගේගොඩ ගංගොඩවිල වලව්වත්ත පාර, අංක 47/11 පදිංචි රණවක සුනිල් පෙරේරා මහතා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට එම පැමිණිලි ගොනු කර ඇත.

අධිනීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන විනිසුරුවරුන් දෙදෙනා හමුවේ එම පැමිණිලි දෙක ඊයේ කැඳවන ලදි.

රාමනායක මහතා පැමිණියේ ඔහුට එරෙහිව ඇති පැමිණිලි ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ කැඳවන බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබීමෙන් බවත් ඔහුට නිල වශයෙන් නොතිසියක්‌ මගින් දැනුම් දීමක්‌ කර නැති බවත් අධිනීතිඥ සුමන්තිරන් මහතා විනිසුරු මඬුල්ල හමුවේ ප්‍රකාශ කළේය.

පෙත්සම්කරුවන් දෙදෙනා වෙනුවෙන් අධිනීතිඥ රසික දිසානායක මහතා පෙනී සිටි අතර ඔහු කියා සිටියේ රන්ජන් රාමනායක මහතාට යෑවීම සඳහා නොතිසි රෙජිස්‌ට්‍රාර්වරයාට කල්වේලා ඇතිව භාරදුන් බවයි. ඔහුට නොතිසි ලැබී නැත්නම් නැවත නොතිසි යෑවිය හැකි බවද අධිනීතිඥවරයා පැවසීය.

අනතුරුව රන්ජන් රාමනායක මහතාට යළිත් නොතිසි යෑවීමට විනිසුරු මඬුල්ල නියෝග කළ අතර ලබන මස 21 දින නඩුව යළි කැඳවීමට නියම කෙරිණි.

රාමනායක මහතාට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පැමිණිල්ලේ සඳහන් වන අන්දමට ඔහු එකී ප්‍රකාශය කර ඇත්තේ 2017 අගෝස්‌තු 27 දාය. එදින කොල්ලුපිටියේදී ජනමාධ්‍යවේදීන් පිරිසක්‌ අමතා ඔහු කළ එකී ප්‍රකාශය විද්යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක්‌ ලබාදී ඇති බවත් ඔහු කර ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 105 (3) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි සාපරාධි වරදක්‌ බවත් පැමිණිලිවල සඳහන් කර ඇත.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව එල්ල කළ චෝදනාව ඔප්පු කිරීමට විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට අපහාස වන අන්දමට ඔහු කළ ප්‍රකාශය පටිගත කළ හඬපට විද්යුත් මාධ්‍යවලින් ලබා ගැනීමට හැකි වන පරිදි ශේ්‍රෂ්ඨාධිකරණයෙන් නියෝගයක්‌ ලබා ගැනීමට ඉදිරියේදී පැමිණිලිකරුවන් අපේක්‌ෂා කරන බවද අධිනීතිඥ රසික දිසානායක මහතා කීය.

රාමනායක මහතා කියා සිටියේ විනිසුරුවරුන්ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස විවේචනයට භාජනය කිරීමට පෙර අවස්‌ථාවලදීත් සිදු වී ඇති බවයි. නොනිමි අරගලය යන පොතේ විනිසුවරුවන්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාපයන් දොaෂ දර්ශනයට ලක්‌ කර ඇති බවද ඔහු කීය.

සම්පත් පෙරේරා, සඳුන් සේනාධිපති සහ අධිනීතිඥ රසික දිසානායක මහතා පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

රන්ජන් රාමනායක මහතා සමඟ ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක්‌ ඊයේ උසාවියට පැමිණ සිටියහ. ඔහුගේ සමීප ඥතියකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද ඒ අතර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles