Sunday, January 12, 2025

Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ

ලෝක ආර්ථිකයත් සමග ඒකාබද්ධ වී සිටින විට ලෝකයේ ඇතිවෙන හැළහැප්පීම්වලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවත්, එවැනි තත්ත්වයකට මුහුණදීමට පිළියම් වශයෙන් විය යුත්තේ අපේ අපනයන අංශය ශක්තිමත් වීම හා විවිධාංගීකරණය වීම බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසා සිටියේය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පසුගිය බ්‍රහස්පතින්දා (23දා) පැවති Brexit ජනමතවිචාරණයේදී එරට ජනතාව තීරණය කිරීමත්, ඒ හා සමගම ලෝක ආර්ථිකයේ ඇති වූ හැළහැප්පීම් හා ඒ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහාචාර්යවරයා මෙසේ පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා,

&බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට එරට ජනතාව තීරණය කිරීම ආර්ථිකමය හේතුවලට වඩා දේශපාලනමය හේතු මත ඇති වූවක්. මොකද, යුරෝපා සංගමය කියන්නෙ කලාපීය සංගමයක්. ඒක වෙළෙඳාමට වඩා පුළුල් ගිවිසුමක්. එවැනි ගිවිසුමක් තුළ සිටින ඒ ගිවිසුම තුළ ඇති නිදහසේ භාණ්ඩ හා සේවා වගේම, නිදහසේ මුදල් හුවමාරුව මෙන්ම, නිදහසේ යුරෝපා සංගමයේ ඕනෑම රටකට ඇතුළු විමේ හා පදිංචි වීමේ ඉඩකඩ මිනිසුන්ට තිබෙනවා. මෙතනදි, මේ අවසාන කාරණය ගොඩක් වැදගත් වී තිබුණා. මොකද, බොහෝ දුරට සංක්‍රමණිකයන් තමයි මේ තුළින් වැඩි වාසි ලබා තියෙන්නෙ. මේ තත්ත්වය තුළ සංක්‍රමණිකයන් බොහෝ වශයෙන් යුරෝපයට ඇවිත් තියෙනවා.

ආර්ථිකමය ප්‍රශ්නයකට වඩා දේශපාලනමය ප්‍රශ්නයක්

ඒ නිසා ප්‍රධාන වශයෙන්ම දේශපාලන ප්‍රශ්නයක් ලෙස මේ තත්ත්වය සලකා බලමින් ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සිය කැමැත්ත ප්‍රකාශ කළා වෙන්න පුළුවන්. නමුත්, ඒ හේතුවෙන් හුඟක් අවාසි තියෙනවා. ඒ අවාසි තමයි ආර්ථිකමය අවාසි. නමුත්, ඒ ආර්ථිකමය අවාසි පැත්ත ගන්නෙ නැතිව, එහෙම නැතිනම් ඒක දැනගෙනත්, එහි ප්‍රතිවිපාක දැනගෙනත්, ඊට වඩා තමන්ගේ දේශපාලන අරමුණු වැදගත් වූ නිසා එංගලන්තයේ ජනතාව ඒ වගේ තීරණයකට ඇවිල්ල තියෙනව කියල අපිට හිතන්න පුළුවන්.

ක්ෂණිකව ඇති වූ ආර්ථික ප්‍රතිවිපාක කිහිපයක්

මෙයින් ඇති වූ ආර්ථික ප්‍රතිවිපාක දැනටමත්, ක්ෂණිකව අපට දකින්න ලැබුණා. ස්ටර්ලිං පවුමේ විනිමය අනුපාතය ශීඝ්‍රයෙන් පිරිහිලා තියෙනවා. ස්ටර්ලිං පවුමේ විතරක් නෙමෙයි, යුරෝ මුදලත් ඇතුළුව මේ ගෙවීගිය දින කිහිපය තුළ බොහෝ විනිමය අනුපාත පිරිහී තියෙනවා. ඒ වගේම, කොටස් වෙළෙඳ පොළවල් තුළ විශාල පහළ වැටීම් දක්නට ලැබුණා. එතකොට මේවා හරහා තමයි, ආර්ථික ප්‍රතිවිපාක අනෙක් රටවලට බලපාන්නෙ.

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව් අපනයනවලින් 25% ක්

ශ්‍රී ලංකාවට මේක වැදගත් වෙන්නෙ ඔය කියන ආර්ථික ප්‍රතිවිපාක ප්‍රධාන වශයෙන්ම වෙළෙඳාමට බලපාන නිසයි. මොකද අපේ වෙළෙඳාමෙන් වැඩි කොටසක් යුරෝපා සංගමයට තියෙනවා. අපේ අපනයනවලින් 25% ක් විතර යන්නෙ යුරෝපා සංගමය තුළ තියෙන රටවල්වලටයි. එතකොට මේ විනිමය අනුපාතවල අවප්‍රමාණයත් එක්ක ඒවායේ මිල ගණන් ඒ රටවල්වල මුදලින් බලද්දි ඉහළ යෑමක් සිදුවෙනවා. ඒ නිසා ඒක අපේ වෙළෙඳාමට තමයි අවාසිසහගත වෙන්නෙ. අනෙක් අතට අපේ අනෙකුත් සබඳතා මේ රටවල් සමග එතරම් දුරට පවතින්නෙ නැහැ. නැත්නම් තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. වෙළෙඳාම තමයි ප්‍රධාන කාරණය වන්නෙ.

අනාගතය ගැන සිතා අදම ප්‍රතිකර්ම කළ හැකි ප්‍රශ්නයක්

ලෝක ආර්ථිකයත් සමග ඒකාබද්ධ වෙලා ඉන්නකොට ලෝකයේ ඇතිවෙන හැළහැප්පීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතනදි පිළියම් වශයෙන් විය යුතු දේ තමයි, අපේ අපනයන අංශය ශක්තිමත් වීම හා විවිධාංගීකරණය වීම. විවිධාංගීකරණය වෙන්නෙ, ඒවා ගමන් කරන දිශාවන් අනුවයි. ඒ කියන්නෙ, යුරෝපා සංගමයට විතරක් නොවෙයි. මේ ආසියාව අද වනවිට වැදගත් වෙළෙඳ පොළක්. ආසියානු වෙළෙඳ පොළවල්වලට, ලෝකයේ වෙනත් වෙළෙඳ පොළවල්වලට විවිධාංගීකරණය වීම හා අපනයන අංශය ශක්තිමත් වීම තමයි අවශ්‍ය වෙන්නෙ. නමුත්, අප ඒ අතින් තවමත් බොහොම දුර්වල මට්ටමක ඉන්න බව පැවසිය යුතුයි. මොකද, අප මේ කාරණය හැමදාම කල්දමමින් ඉන්න ප්‍රශ්නයක්. ඒ නිසා මේ වගේ තත්ත්වයක් තුළ අපට තියෙන පීඩාව, බලපෑම වැඩි විය හැකියි. ඒ නිසා අනාගතයේදීත් මේ වගේ ප්‍රශ්න ඇතිවිය හැකියි හා තිබෙන ප්‍රශ්න උග්‍රවිය හැකියි කියන අදහස අපේ හිතේ තියෙනවා නම්, රටක් හැටියට අපට අද වුණත් මේකට ප්‍රතිකර්ම යොදාගන්නට පුළුවන් බව මගේ අදහසයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles