Sunday, September 22, 2024

CIMA හා CA ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එයි

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන් සහ එම සිසුන් අතර CIMA ප්‍රචලිත කිරීමේ පරමාර්ථය පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගිණුම්කරණ ආයතන දෙකක් වන කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් පසුගිය 19 වැනිදා ඉතා වැදගත් එකඟතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

මෙම ගිවිසුමට අනුව වරලත් ගණකාධිකාරීවරුන්ට, CIMA සහ එහි හවුල් ව්‍යාපාර සහකරු වන American Institute of CPAs (AICPA) මගින් හඳුන්වාදී ඇති, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ට භාවිත කළ හැකි ගෝලීය තනතුරු නාමය වන CGMA (Chartered Global Management Accountant) (වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී) තනතුරු නාමය ලබාගැනීමට අවස්ථාව සැලසෙයි. ඒ අනුව, CIMA සාමාජිකත්වය ලැබීමට අවශ්‍ය වන අවම ප්‍රායෝගික පුහුණු අවශ්‍යතා සපුරා ඇති සහ වසර පහක වෘත්තීමය පළපුරුද්ද ඇති වරලත් ගණකාධිකාරීවරුන්ට, CIMA හි උපාය මාර්ගික සිද්ධි අධ්‍යයන පරීක්ෂණය සම්පූර්ණ කිරීමෙන් පසු CGMA තනතුරු නාමය භාවිත කිරීමට අවකාශ ලැබෙනු ඇත. එසේම මෙමගින් වසර පහකට අඩු වෘත්තීමය පළපුරුද්ද ඇති වරලත් ගණකාධිකාරීවරුන්ටද උපාය මාර්ගික අදියරේ (Strategic Level) P3 ඇගයුම සාර්ථකව නිම කිරීමෙන් පසුව සහ සිද්ධි අධ්‍යයන පරීක්ෂණය සමත් වීමෙන් අනතුරුව CGMA තනතුරු නාමය ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සියලු දැනුම් කුසලතා සහ ඇගයීම් පරීක්ෂණ සමත් සිසුන්ටද CIMA උපාය මාර්ගික අදියරේ අවසන් ඇගයීම් හතර සමත් වීමෙන් සහ අවම වශයෙන් වසර පහක වෘත්තිය පුහුණුව ලබාගැනීමෙන් අනතුරුව CGMA තනතුරු නාමය ලබාගැනීමට හැකියාව සැලසෙනු ඇත.

මීට අමතරව මෙම එකඟතා ගිවිසුම මගින් ගෝලීය කළමනාකරණ ගිණුම්කරණ මූලධර්ම අනුමත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකරනු ඇති අතර CIMA සහ CA ශ්‍රී ලංකා ආයතනය එකමුතුව එම මූලධර්ම ප්‍රතිග්‍රහණය කරලීමට අවශ්‍ය ජාතික සැලැස්මක් සැකසීමට ක්‍රියාකරනු ඇත. එසේම මෙම ආයතන දෙක අන්‍යෝන්‍ය එකඟතාව ඇතිව තම තාක්ෂණික න්‍යායන් සහ ව්‍යාපෘති හඳුනාගනිමින් එයට සහාය දැක්වීමටත් ඒකාබද්ධ වාර්තාකරණයක් එළිදැක්වීමටත් කටයුතු කරනු ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles