Saturday, July 27, 2024

රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය නැති කරනු!

රට බංකොළොත් කිරීමට වගකිවයුතු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ සහ එහි සහචරයන්ගේ ප්‍රජා අයිතිය වහා අහෝසි කරනු.!

ජන අරගලයෙන් පන්නා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු කල්ලිය විසින් ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්කිරීමේ වගකීම භාරගත යුතු බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා (14දා) තීරණය කරන ලදී. මෙම පිරිස විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් තහවුරු කර ඇති පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පංච පුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලිව සඳහන් කර ඇත.

එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් පාදඩ රාජපක්ෂ පාලනය පළවාහැරීම සඳහා 2022 වර්ෂයේදී ආරම්භ කරන ලද ජන අරගලය යුක්තියුක්ත ජන අරගලයක් බවට තහවුරු වේ. රාජපක්ෂ පාලනයේ ප්‍රධාන වගකිවයුත්තන් සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු වූ මහා විනාශයට වගකිවයුත්තන් ලෙස නම් කිරීම අරගලයේ තවත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පිටු 265ක් පුරා එකී පාලනයේ පැවැති අදූරදර්ශී, වගකීම් විරහිත, වංචාකාරී ස්වරූපය මනාව හෙළිදරව් කර තිබේ. දැන් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව ජන අරගලයෙන් පන්නා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු මජර කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි.

රටේ මිලියන 21ක ජනතාව ගෑස් හිඟයෙන්, ඉන්ධන හිඟයෙන්, විදුලි කප්පාදුවෙන්, බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටියදී එකමුතු නොවූ පාර්ලිමේන්තුවක් මේ රට බංකොළොත්භාවයට පත්කළ පාදඩ කල්ලියට එරෙහිව එකමුතු වේ යැයි අපි කිසිසේත් විශ්වාස නොකරමු. අවම වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වූ අවධානය තරම්වත් අවධානයක් රට බංකොළොත් කළ කල්ලියට එරෙහිව යුක්තිය ඉටුකරගැනීම සඳහා යොමුවේ යැයි අප බලාපොරොත්තු නොවෙමු.

මන්ද මෙවන් තීරණාත්මක අවස්ථාවකදී රටේත්, රටේ ජනතාවගේ යුක්තිය වෙනුවෙනුත් සටන් කළ හැකි දේශපාලන ස්වාධීනත්වයක්, පෞරුෂයක් හැකියාවක් හෝ අභිලාෂයක් සහිත දේශපාලනඥයන් කිසිවෙකු වත්මන් පාර්ලිමේන්තුව තුළ ඇතැයි අපි විශ්වාස නොකරමු. එසේ සිටිනවා නම් රට විනාශයට ගෙන ගිය බවට රටේ උත්තරීතර නීතිය ඉදිරියේ හෙළිදරව් වූ පිරිසගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන එන මෙන් අපි ඔවුන්ට අභියෝග කරන්නෙමු.

රාජපක්ෂ මර උගුලෙන් මිදී ඉදිරි තීරණාත්මක මැතිවරණයකදී රාජපක්ෂ පාදඩ පාලනයට එරෙහිව උපරීම දඩුවම් ලබාදෙන නව දේශපාලන ව්‍යාපාරයකට මේ රටේ ජන අරගලය විශ්වාස කරන සියලුම දෙනා සිය සහයෝගය ලබාදිය යුතුය. රාජ්‍ය පාලනයේ අනාගත පාලකයන් නිවැරදි කිරීම උදෙසා රාජපක්ෂලා වැනි අත්තනෝමතික පාදඩ පාලකයන්ට අද දවසේ නිසි දඬුවම් ලබාදීමකින් තොරව ශ්‍රී ලංකාවට අනාගතයක් නැත.!

-සර්වපාක්ෂික අරගලකරුවෝ-

0 comments

Related Articles

Latest Articles