Saturday, July 27, 2024

ජපාන ව්‍යාපෘති කඩිනම් වෙයි….

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කොළඹදී සාකච්ඡාවක් පැවැත්විණ.

ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක සිට අධි තාක්ෂණික ආර්ථිකයක් දක්වා පරිවර්තනය වීමේ අපේක්ෂාවෙන් පසුවෙන ශ්‍රී ලංකාවේ අධි තාක්ෂණික කර්මාන්ත ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා ජපාන ආයෝජකයින් දිරි ගැන්වීමට කටයුතු කරන බව එරට විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා අද ප්‍රකාශ කළා. ඒ, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි එම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිය කෘතඥතාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ  පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද එහිදී කරුණු පැහැදිළි කර තිබෙනවා.


එමෙන්ම, ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ඉන්දියන් සාගර කලාපය සාමකාමී සහ ස්ථාවර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා  එක්ව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කලාපීය සහ ගෝලීය ගැටළු රැසක් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා. 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපන් විදේශීය අමාත්‍ය හයාෂි යොෂිමාසා අතර හමුවක් අද පස්වරුවේ කොළඹ දී සිදුවුණා. මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව  අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිලිබඳව ඔවුන් දෙදෙනාගේ අවධානය යොමුවූ බවයි විපක්ෂ නායක කාර්යාලය පැවසුවේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles