Saturday, July 27, 2024

ප්‍රදේශ 1159ක අලුතින් නාය යන ලකුණු!-ප්‍රාදේශීය ලේකම්වරු පැමිණිලි කරති.

දිවයිනේ දිස්ත්‍රික්ක අටක ස්ථාන 1159ක අලුතින් නාය යෑම් ඇති වීමට ඉඩ ඇති ලකුණු පහළ වී ඇතැයි එම ප්‍රදේශවලට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳ පර්යේෂණ කිරීමට භූ විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් දැනටමත් ඒ ප්‍රදේශවලට පිටත් කර ඇති බවත්, ඔවුන්ගෙන් වාර්තා ලැබුණු පසු අවශ්‍ය නම් ඒ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට සිදු වනු ඇති බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අංග ප්‍රධානි ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

මෙලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් හඳුනාගෙන ඇති ස්ථාන අතර කළුතර ස්ථාන 465ක්ද, රත්නපුර ස්ථාන 451ක්ද, ගාල්ලේ ස්ථාන 68ක්ද, කොළඹ ස්ථාන 42ක්ද ඇති බව බණ්ඩාර මහතා කියයි. ඊට අමතරව මාතර හම්බන්තොට කෑගල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලද මෙවැනි අලුතින් නාය යෑමට ඉඩ ඇති ස්ථාන හඳුනාගෙන ඇත.

මේ අතර වැසි ඇති වුව හොත් ඉදිරි දිනවල ‍රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 34ක නාය යෑම් ඇති වීමට ඉඩ ඇතැයිද බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ක, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 4ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 6ක, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 4ක, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 4ක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 2ක හා නුවරඑළියේ දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයේද අධික වැස්ස ඇති විට නාය යෑම් ඇති වීමට ඉඩ ඇතැයි ඒ මහතා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles