Saturday, July 27, 2024

‘මඟුල් මඩුව’ පුරාවිද්‍යාවට අහිමි වේ…!

මහනුවර ඓතිහාසික රාජකීය මඟුල් මඬුව හා බිසෝ උල්පැන්ගේ ශ්‍රී දළඳා මාළිඟාව භාරයේ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී දළඳා මාළිඟාව වෙත පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ වෙත ලිපියක් මඟින් දැනුම්දී තිබෙනවා. 

එම ගොඩනැගිලි ද්විත්වය ඉතා අබලන් තත්ත්වයක පවතින බව ඉකුත් අගෝස්තු මස 30 සහ 31 යන දෙදින සිදුකළ නිරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ දක්වා ඇත්තේ. 

ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණ කටයුතු නොකළහොත් එම ඓතිහාසික ගොඩනැගිලි දෙකම ජාතියට අහිමි වනු ඇති බවයි ජනාධිපති ලේකම්වරයා අදාළ ලිපිය මඟින් පෙන්වාදී ඇත්තේ. 

එබැවින් මල්වතු අසිගිරි මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි හා ශ්‍රී දළඳා මාළිඟාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල විසින් සිදුකළ ඉල්ලීමට අනුව එම ගොඩනැගිලි දෙක ශ්‍රී දළඳා මාළිඟාව වෙත පවරා දීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි ජනාධිපති ලේකම්වරයා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

මේ අතර ජනාධිපති ලේකම්වරයා විසින් යොමුකර ඇති අදාළ ලිපිය සම්බන්ධයෙන් නෙත් නිවුස් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණගෙන් විමසීමක් කළා. 

ඔහු පැවසුවේ අදාළ ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි. 

අදාළ ලිපිය තමන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

ඒ අනුව ඓතිහාසික රාජකීය මඟුල් මඬුව හා බිසෝ උල්පැන්ගේ ශ්‍රී දළඳා මාළිඟාව වෙත පවරා දෙන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් ද නෙත් නිවුස් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසා සිටියා. 

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ අදාළ දිනය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කඩිනමින් තීරණයක් ගනු ඇති බවයි.
(NETH)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles