Wednesday, February 12, 2025

රනිල් ගුරු මණ්ඩලේ විසුරුවයි!

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500කගේ පමණ සියළු මාරුවීම් අහෝසිවී යනු ඇති.  

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවීම සලකා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටළුවක් මතුවීම වැලැක්වීම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට හේතු වී ඇති බවද සඳහන්. 

එමෙන්ම, විවිධ මානුෂීය කරුණු රැසක් පදනම් කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල්දමා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු සේවයේ නියුතු බොහෝ දෙනෙකු ලිපි මඟින්ද ජනාධිපතිවරයා වෙත සිය දුක්ගැනවිලි යොමුකර තිබුණා.

තවද පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාසිටි ගුරුවරුන් පිරිසක් ද ගුරුමාරුවීම් සඳහා නිර්දේශව සිට ඇති අතර ඉන් පිරිසක් සිය ස්ථාන මාරු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීමේ සූදානමක පසුවූ බවටත් වාර්තා වී තිබෙනවා.

ගුරු මාරු මණ්ඩලය විසුරවා හැරීමට ගත් නියෝගය සම්බන්ධයෙන් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකුද එය සනාථ කළා. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles