Saturday, July 27, 2024

වැහි තද වෙයි… කඳුකර මාර්ග අවදානම් කලාප බවට පත්වේ…

තද වර්ෂාව සමඟ  කඳුකර මාර්ග බොහොමයක ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්.එල්. උදය කුමාර මහතා පැවසීය.

පස්සර ඇල්ල මාර්ගය ස්ථාන කිහිපයකින් ම දැවන්ත ගල් පර්වත පෙරළීමෙන් මුළුමනින්ම අවහිර වී තිබේ. පස්සර බිබිලේගම මාර්ගය ඉඩමේ ගෙදර කොටසේදී පාරේ කොටසක් නාය ගොස් තිබේ. නමුනුකුල පස්සර මාර්ගය කණවරැල්ල අසලදී අවහිර වී තිබේ.

මහියංගන කදුරුවෙල මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී අහිරවී ඇත. ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා භික්ෂු ආරාමය අසලින් සහ 18 වෙනි කිලෝමීටර් කණුව අසලින් ගස් කඩා වැටී  අවහිරතාව ඉවත් කරමින් පවතින බවද පැවසේ.

වැලිමඩ බදුල්ල මාර්ගය සවස 6 සිට උදේ 6 දක්වා රාත්‍රි කාලයේ වසා දමා තිබේ. පුහුල්පොල නාය ගොස් ඇති වී තිබෙන තත්වය මෙම තීරණය ගැනීමට හේතුවී තිබේ. මේ අතර ලුණුගල බිබිල මාර්ගය ද වදුරටත් තුන්වන දිනයටත් වසා තිබෙන බවද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පසුගිය දින කිහිපය මුළුල්ලේ ලැබුණු වර්ෂාපතනය හා තවදුරටත් ලැබෙමින් පවතින වර්ෂාපතනය සමග බදුලු ඔය පිටාර යාමේ අවදානමක් පවතින බැවින් එය දෙපස පදිංචි පිරිස් ඉතා අවධානයෙන් පසුවිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අද (22) දිනයේදී අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද  සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Latest Articles