Tuesday, May 21, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාරිසරික සංවේදී ප්‍රදේශ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි

ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා

මේ වනවිටත් එම ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.

ඉදිරියේ දී එම ජාතික ප්‍රතිපත්තිය නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එහි නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා

“අපේ රට ජෛව විවිධත්වයෙන් අනූන රටක්. ජාතික රතු දත්ත ලැයිස්තුව විසින් අනාවරණය කර ඇති පරිදි අපේ රටේ ගොළුබෙලි විශේෂ 253ක්, සමනලුන් විශේෂ 245ක්, පක්ෂි විශේෂ 240ක්, උරග විශේෂ 211ක්, පෘෂ්ඨ වංශික සත්ව විශේෂ 748ක්, අපෘෂ්ඨ වංශික සත්ව විශේෂ 1492ක් අපේ පරිසරය තුළ ජීවත් වෙනවා.

පෘෂ්ඨ වංශී සත්ව විශේෂ අතරින් සියයට 43ක්, උභයජීවි සතුන්ගෙන් සියයට 87ක්, උරග විශේෂවලින් සියයට 59ක්, ක්ෂිරපායී විශේෂවලින් සියයට 19ක් , පක්ෂි විශේෂවලින් සියයට 07ක් අපේ රටටම ආවේනිකයි.

එමෙන්ම අපේ රටේ ශාක පද්ධතිය දෙස බලන විට අපිට ආවේනික ශාක විශේෂත් බහුතරයක් තිබෙනවා. පර්ණාංග ප්‍රභේදයන් 336ක්, සපුෂ්ප ශාඛ ප්‍රභේද 3154ක්අතරින් ප්‍රභේද 916ක් අපේ රටටම ආවේනික ඒවායි.

මේ සියලු ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට ප්‍රතිපත්තිමය පියවර ගැනීම පරිසර අමාත්‍යවරයා වශයෙන් මගේ වගකීම මම ඉටු කරනවා.

එම නිසාම ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අවශ්‍ය කෙටුම්පත මේ වනවිට සකසා අවසන්. එහි නීතිමය ප්‍රතිපාදන පිළිබඳ මේ දිනවල අධ්‍යයනය කරනවා.

මට ලැබී ඇති තොරතුරු අනුව අපේ රටේ මෙවැනි සංවේදී පාරිසරික කළාප පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් වන්නේ පළමු වතාවටයි. දැනටමත් අපි එවැනි පාරිසරික සංවේදී කළාප කිහිපයක් හඳුනාගෙන තිබෙනවා.

පුත්තලම ගඟේවාඩිය, අනුරාධපුර මානෑව, ගල්නෑව හා එළුවන්කුළම යන ප්‍රදේශ ඊට අයත්. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම් විට මෙවැනි සංවේදී පාරිසරික ප්‍රදේශ හඳුනාගෙන නොතිබීම නිසා ඒවාට නොදැනුවත්වම හානි සිදු විය හැකියි. එවැනි සංවේදී පාරිසරික පද්ධති තුළ ජීවත්වෙන අපිටම ආවේණික වඳ වී යාමේ තර්ජනයට පවා ලක්ව සිටින සත්ව හා ශාක විශේෂ විනාශ ව යා හැකියි.

ඒ වගේම මෙම ප්‍රතිපත්තිය අනුව සංවේදී සාගරික පාරිසරික කළාප තුනක් නම් කිරීමටත් අපි සැලසුම් කර තිබෙනවා.

ඉන් පළමුවැන්න මන්නාරම සිට රාමේශ්වරම් දක්වා සාගර කළාපයයි. මෙම සාගරික කළාපය සංවේදී සාගරික පාරිසරික ප්‍රදේශයක් ලෙස නම් කිරීමේ දී අපි ඉන්දීය රජයේත් සහයෝගය ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා.දෙවැන්න මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට සාගර කළාපය හා තෙවැන්න ගාල්ල සිට හම්බන්තොට දක්වා දකුණු මුහුදු තීරය යි.මෙම කලාප තුනත් අපි සංවේදී පාරිසරික කළාප වශයෙන් නම් කර සංරක්ෂණය කිරීමට පියවර ගන්නවා” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles