Saturday, July 27, 2024

සමන්, සක්විති හිමිට ලියයි….

කුරුන්දි විහාරය, වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බවත්, එම විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.

උතුරු නැගෙනහිර පවතින ඉඩම් ගැටළුවලට විසඳුමක් වශයෙන් යෝජනා කර ඇත්තේ 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා ඒ බව දැනුම්දුන්  බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

පසුගිය ජූනි  08 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.

එම ලිපිය මගින් කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මඟින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති බවත්, එබැවින් මෙම ඉඩම් බෙදාදීම නුසුදුසු බවත් උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. 

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ අදාළ රැස්වීමේදී කුරුන්දි විහාරය මෙන්ම තිරියාය ප්‍රදේශයේ නටඹුන් පිළිබඳව ද සාකච්ඡා කළ බවයි.

කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතු වී ඇති ප්‍රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට එහිදී මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බවද එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම ඉඩම් ද හඳුනා ගෙන ඒවා දිස්ත්‍රික් ලේකම්වරයා භාරයේ තැබීමට කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles