Friday, January 17, 2025

අලි ජාවාරමට සරණක් ලැබෙන ලකුණක්. මේක නීතිය අවභාවිතා කිරීමක් – ආචාර්ය ජගත් ගුණවර්ධන

සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් බව ඇය සඳහන් කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඇය වෙත කර තිබු නියෝගයක් සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව ඇය සිය ධුරයෙන් ඉවත්ව ඇති බව ද පැවසේ.

එම නියෝගය වන්නේ පසුගිය කාලයේ සිදු කළ විමර්ශනවලින් පසුව අධිකරණයේ නඩු පවරා ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින හීලෑ අලි, ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට මුදා හැරීමට නියෝග කිරීමය.

අධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම හීලෑ අලි ඇතුන් නඩු භාණ්ඩ ලෙස ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ ඇති පින්නවල හා උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානවල රඳවා සිටියේය. එම ගැසට් නිවේදනය මගින් හීලෑ අලි, ඇතුන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් මාස 03 ක් අතුළත ලියාපදිංචි කිරීමට නියමකර ඇති බවත් එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. N.G රාජපක්ෂ යනුවෙන් සඳහන් පුද්ගල අනන්‍යතාවය හෝ සන්නසක් මගින් පවරා දුන් අලි පැටවෙකු යළි එම පුද්ගලයාටම භාර දෙන්නේ ඇයිදැයි යන්න ඉහත කී ලිපියේ සඳහන් කර නැත.

කෙසේ නමුත් එවක ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීත්‍යානුකූලව සිටි බව පැවසුනු අලි පැටව් දෙදෙනෙකු ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇතැයි එවක සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසූ බව ඇතැම් මාධ්‍ය 2015 ජනවාරි වාර්තා කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ සිටි චරිත නම් ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවත් 2015ට පෙර ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ සන්නසක් මගින් චාරිකා නම් පැවටා ද ඔහුට පවරා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. තමන්ට අලි පැටවුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් යළි රජයට භාර දෙන බව ගෝඨාභය රාජපක්ෂ එවක පැවසූ බව නියෝජ්‍ය අමාත්‍යව වසන්ත සේනානායක උපුටා දක්වමින් එම වාර්තා පල වී තිබිණි.

ඉහත කී ක්‍රියාමාර්ගයට එරෙහිව සියලු පරිසර සහ සත්ව සුබසාධන සංවිධාන සමග තමන් වහන්සේ සිට ගන්නා බව වූ ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පැවසූහ. “මේ සතුන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් ගත හැකි, ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න අපි සූදානම්. මේ අහිංසක සත්තුන්ගේ ජීවිත බේරා ගන්න, එපමණක් නොවෙයි මේ සත්ව පරම්පරාවේම යහපත පිණිස, මේ නීතිය අවභාවිත කරමින් සිදු කරන අයතා, අසාධාරණ, අයුක්ති සහගත අධර්මයට එරෙහිව අපි ක්‍රියාත්මක වෙනවා.” යනුවෙන් Justice for Animals සංවිධානයේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි වැඩිදුරටත් සඳහන් කළහ.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයට අනුව වසර 06ක පමණ කාලයක සිට උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි තුන්දෙනකු පෙරේදා (07) සහ ඊයේ (08) මුල් අයිතිකරුවන්ට ලබා දුන්නේ ය. තත්වය මෙසේ වෙදී වියාජ ලේඛන භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ලඟ තබා ගැනීමේ චෝදනා මත වනජීවී භාරයට ගත් අලි පැටවුන් එම චෝදනා ලත් පුද්ගලයන්ටම යළි ලබා දීමේ තීන්දුවට එරෙහි වන්නැයි පරිසරවේදීහු “හදවතක් සහ හෘද සාක්ෂියක් සහිත” ජනතාවගෙන් ඉල්ලා සිටිති. ඔවුන් එසේ ඉල්ලා සිටියේ නීතිවිරෝධී ලෙස අලිපැටවුන් ලඟ තබා ගත් බවට චෝදනා ලත් පුද්ගලයන්ටම එම පැටවුන් යළි ලබා දෙන ලෙස අධිකරණය නියෝග කිරීමත් සමගය.

එහිදී අදහස් දක්වමින් පරිසර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුවේ “විය යුතුව තිබුණේ නඩුවේ දෝෂයක් තිබුණේ නම් නඩුව අහලා ඉවර කරලා, එහෙම නැති නම් නඩුවට විරෝධතාවක් ඉදිරිපත් කරලා, එමගින් නඩුව නිෂ්ප්‍රභ වුණා නම් ඊට පස්සේ එන තීන්දුව අනුව කටයුතු කරන එක. මේ ආකාරයෙන් නඩු ඉවත් කරගෙන කරන දේවල් අපි දකිනවා අධිකරණ ක්‍රියාමාර්ගයට අයුතු බලපෑමක්, නැති නම් අතරමග අත්හිටුවීමක් විදිහට.” යනුවෙනි.

“අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තිය යටතේ නීතිපතිවරයා තමයි රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ. එතකොට ඒ අය පැමිණිල්ල තවදුරටත් නොගෙන යන්න ඉල්ලීම් කළ විට අධිකරණයට එයින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ මට ගැටළුවක් නැහැ. නමුත් එයින් ඔබ්බට ගිය විට මෙහි වගඋත්තර පාර්ශවයන් සහ මේ සඳහා මැදිහත් වුණු රජයේ පාර්ශවයන් විසින් මේ කළ දේ ඉතාම නරක පූර්වාදර්ශයක්. මේවයේ බලපෑම එන්නේ අනාගතයේදී.” යනුවෙන් ද ආචාර්ය ජගත් ගුණවර්ධන වැඩි දුරටත් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එමෙන්ම මේ ගැන අදහස් දක්වන බොහොමයක් දෙනා අතරින් කියවෙන්නේ මෙය නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමේ අවදානමක් බවටය. අලි පැටවුන් නිදහස් කරදීමට ගත් ක්‍රියාමාර්ගය හමුවේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles