ඇමරිකාව ලංකාවට සිය නියෝජිතයන් එවයි…

0
613

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හෙට(26) දිවයිනට පැමිණීමට නියමිතය.

ඔවුන් ලබන 29 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති. ඒ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවීමට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඊයේ කටයුතු යොදා තිබුණි.

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව භාර නියෝජ්‍ය සහාකර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය එලෙස දිවයිනට පැමිණෙන බවය.

ඔවුන් මෙරට දේශපාලන නියෝජීතයින් ආර්ථික විශේෂඥයින් හා ජාත්‍යන්තර සංවිධාන හමුවීමට නියමිතය.

මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා අමෙරිකාවෙන් ලබා දිය හැකි වඩාත්ම ඵලදායී ක්‍රම පිළිබඳ ගවේෂණය කිරීම අමෙරිකානු නියෝජිත පිරිසේ මෙම සංචාරයේ අරමුණයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් මෙරට අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලාංකික ජනතාවගේ සුරක්ෂිතාව සහ සෞභාග්‍ය සම්බන්ධයෙන් අමෙරිකාවේ ඇති අඛණ්ඩ කැපවීම මෙම සංචාරයන් පෙන්නුම් කරන බවය.

ඉතිහාසයේ බරපතල අභියෝග ගණනාවකට ශ්‍රී ලංකාව මුහුණු දී ඇති මේ අවස්ථාවේ ආර්ථික වර්ධන සඳහා සහය දීමටත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමටත් අමෙරිකාව දරණ වෑයම අන් කවරදාටත් වඩා වැදගත් වන බව ද ඇය කියා සිටියාය.

එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට අමෙරිකාව අඛණ්ඩව සහය ලබා දෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here