Monday, December 23, 2024

ඇෆ්ගනිස්ථානය පරදවා නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය ලෙස නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් ලැබූ නවසීලන්ත ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. ඇ‍ෆ්ඝනිස්ථානය මෙම තරගයේදී ලැබූ පරාජය හේතුවෙන් ඔවුන්ට පමණක් නොව, ඉන්දියාවටද අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. පන්දු 56 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නායක කේන් විලියම්සන් (නොදැවී 40) සහ ඩොවොන් කොන්වේ (නොදැවී 36) නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ‍කැඳවාගෙන ගියහ.

පන්දු 42 කට මුහුණදුන් විලියම්සන් හතරේ පහරකින් සිය ඉනිම සැරසූ අතර පන්දු 32 කදී වාර්තා වූ කොන්වේගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරුවන් වූ මාටින් ගප්ටිල් පන්දු 23 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද, ඩැරිල් මිචෙල් පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක්ද රැස්කරමින් ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 124 ක් ලබාගත්තේය. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ නජිබුල්ලා සද්රාන් පන්දු 48 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 73 ක් රැස්කරමින් ඇෆ්ඝනිස්ථාන ඉනිම සවිමත් කළේය.

නායක මොහොමඩ් නබී (14) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ සද්රාන්, කෙමෙන් කෙමෙන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. එහෙත් පිතිකරුවන් 5 දෙනෙකුම 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගැනීම ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට විශාල පාඩුවක් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ට්‍රෙන්ට් බෝල්ට් සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ‍බෝල්ට්ට අනගි සහායක් දුන් ටිම් සවුති ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය. ඇඩම් මිලන්, ජේම්ස් නීෂම් සහ ඉෂ් සෝධි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඇෆ්ගනිස්ථානය – ඕවර 20 කදී කඩුලු 8 කට 124
(ගුලාබ්දීන් නයිබ් 15, නජිබුල්ලා සද්රාන් 73, මොහොමඩ් නබී 14, ‍ට්‍රෙන්ට් බෝල්ට් 17/3, ටිම් සවුති 24/2)  

නවසීලන්තය – ඕවර 18.1 කදී කඩුලු 2 කට 125
(මාටින් ගප්ටිල් 28, ඩැරිල් මිචෙල් 17, කේන් විලියම්සන් නොදැවී 40, ඩෙ‍ෙවාන් කොන්වේ නොදැවී 36)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles