Wednesday, September 25, 2024

උතුරු සංවර්ධන සැලසුම් ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව

උතුරු-නැ‍ඟෙනහිර ප්‍රදේශ වෙනුවෙන් වත්මන් යහපාලන රජය ක්‍රියාත්මක කරන සංවර්ධන සැළසුම් ජනාධිපති පදවි ප්‍රාප්තියට සමගාමීව ආරම්භ කරන බවත් එම ප්‍රදේශවල නිවාස ඉදිකිරීම්, සංවර්ධනය හා උද්ගත අනෙකුත් ගැටලුවලට විසඳුම් සෙවිය යුත්තේ සියලු දෙනාම එක්වී බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) පැවැසීය.

උතුරු-නැ‍ඟෙනහිර ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නිවාස අතරින් සියයට අසූවක් ගඩොල්වලින් සාදන බවත් 2009 සිට බොහෝ දුක් ගැහැට විඳි පැල්පත්වල සිටින ජනතාවට අවශ්‍ය නිවාස ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාගත හැකි බවත් අගමැතිවරයා පැවැසීය.

එමෙන්ම උතුරු-නැ‍ඟෙනහිර ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන වසරේ දී සියලු දෙනාම එක්වී සමුළුවක් ද පවත්වන බව අගමැතිවරයා පැවැසීය.

යුද්ධයෙන් පීඩා විඳි ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටුකරනවා වෙනුවට පසුගිය පාලකයන් විශාල මුදලක් වැයකරමින් යාපනයේ රජ මාළිගා සැදූ බවත් අගමැතිවරයා සිහිපත් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජය යෝජනා කර ඇති නිවාස වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා යොමුකළ ප්‍රශ්නයක‍ට පිළිතුරු දෙමිනි.

යෝජනා කර ඇති එම නිවාස ව්‍යාපෘතිය දෙමළ ජනතාවගේ සංස්කෘතියට නොගැලපෙන බවත් පෙරසවි ක්‍රමයට සාදන නිවාස ‘කූඩු’වල ස්වරූපයක් ගන්නා බවත් එම නිවාස 10,000 ඉදිකරන මුදලින් නිවාස 20,000ක් ඉදිකළ හැකි බවත් සම්බන්ධන් මහතා මෙහිදී පැවැසීය. එමෙන්ම දෙමළ ජනතාවට ලබාදෙන පෙරසවි නිවාස සම්බන්ධයෙන් සෘජු පිළිතුරක් ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ උතුරු-නැ‍ඟෙනහිර ජනතාවට ඇති නිවාස අවශ්‍යතාව ඇතුළු සියලු ගැටලු වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන වසරේ දී සියලු දෙනාම එක්වී සාකච්ඡා කළ හැකි බවයි. එමෙන්ම 2009 වසරේ මෙම ජනතාවට නිවාස ලබා දෙනවා වෙනුවට පසුගිය රජය මෙරට පවතින හොඳම හෝටල්වලට වඩා සැප පහසුකම්වලින් සමන්විත රජ මාළිගාවක් ඉදිකරන්නට කටයුතු කළ බවත් අගමැතිවරයා පැවැසීය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයක් පැවැති වකවානුවක දී යාපනය පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවත් පසුගිය රජය පල්ලි හා කෝවිල් කඩා දමමින් සිදු කළ සංවර්ධනය ගැන ද සිහිපත් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles