මේ දවස් වල බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින ඉන්නේ ටිකක් අසනීපයෙන්. ඒ නිසා ඇය දිගින් දිගටම සිය නිළ රාජකාරි බොහොමයක් අවලංගු කරලා වෛද්‍ය උපදෙස් මත විවේක ගන්නවා. ඇයගේ සෞඛ්‍ය තත්වය ගැන මුළු බ්‍රිතාන්‍යයම උනන්දු වෙනවා වගේම ඇයට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා.
කොහොම උනත් රැජිනගේ අසනීප තත්වයත් එක්ක යම් හේතුවකින් ඇය මියගියහොත් මොකද වෙන්නේ කියන එක ගැන ගොඩක් අය උනන්දුවක් දක්වනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවෙනවා. ඇත්තටම එලිසබෙත් රැජිනි හදිසියේ හෝ මියගියහොත් කුමක් කලයුතුද යන්න නිශ්චිත සැලැස්මක් තියනව. ඒක මේ අද ඊයේ හදපු සැලසුමක් නෙමෙයි වසර ගණනාවක් තිස්සේ පැහැදිලිව තියන නිශ්චිත සැලැස්මක්.
දෙවන එලිසබෙත් මහ රැජිනිගේ මරණය සම්බන්ධ සැලැස්ම හැඳින්වෙන්නේ “Operation London Bridge “ කියන නමින්. ඒ සැලැස්ම තුලට ඇයගේ මරණය නිවේදනය කරන ආකාරය, රැජිනිය මරණයට පත්වීම නිසා ප්‍රකාශ කෙරෙන ශෝක කාලය සහ රැජිනිගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ආදී පියවරයන් ගණනාවක් ඇතුළත් වෙනවා. රැජිනිගේ මරණය සිදුවූ වහාම ඇයගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඒ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දියයුතු වනවා. ඒ ” London Bridge is Down” යන වචන කාණ්ඩය භාවිතා කරමින් රැජිනිය මිය යාම නිසා ඇතිවන අනවශ්‍ය මහජන කලබලය නැති කිරීම සඳහා, ඇයගේ මරණය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් රැජිණගේ මරණය පිලිබඳව සංනිවේදනය කිරීම සඳහා ” London Bridge is Down” යන වාක්‍යය භාවිතා කෙරෙනු ඇති.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්‍ය්ලය විසින් ඇයගේ මරණය පිළිබඳව වහාම ඇය රාජ්‍යත්වය උසුලන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රාජ්‍යන් 15කටද ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36කටද රැජිනියගේ මරණය නිළ වශයෙන් දැනුම් දිය යුතු වනවා. ඉන් පසුව බ්‍රිතාන්‍ය රැජිනියගේ අභාවය පිළිබඳව ගෝලීය වශයෙන් නිවේදනය කරනු ඇති. සාම්ප්‍රදායිකව බකිංහැම් මාලිගයේ දොරටුවෙහි එල්ලනු ලබන නිවේදනයක් මගින් බකිංහැම් මාලිගය විසින් රැජිනගේ අභාවය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන අතර එදා සිටම සාම්ප්‍රධායක් ලෙස රාජකීය නිවේදන නිකුත් කිරීම් අයිතිය ලද BBC ගුවන් විදුලිය මගින් එම පුවත ලොව පුරා බෙදාහරිනු ඇත. මීට අමතරව වර්තමාන ක්‍රමයන්ට අනුව මාලිගාවේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ගිණුම් මගින් අඳුරු පැහැ පසුබිමක ඇයගේ මරණය සංනිවේදනය කරන අතර සියළු ගිණුම් කළු පැහැ බැනරයකින් සංකේතවත් කරනු ඇති.
රැජිනිය මියගිය වහාම චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත්වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුව රජු ලෙස පිලිගනු ඇති. පසු දිනක පැවැත් වෙන අභිශේක මංගල්‍යයේදී චාල්ස් රජු විසින් වෙනත් නමක් තොරා නොගතහොත් ඔහු ‘III වන චාල්ස් රජු’ නමින් හැදින් වෙනු ඇති. චාල්ස් රජතුමන් විසින් රැජිනිය මියගිය දිනට පසුදින සවස ජාතිය ඇමතීමට නියමිතයි. රැජිනිය ලොව කුමන ස්ථානයකදී මිය ගියද ඇයගේ මරණය බකිංහැම් මාලිගයේ සිංහාසන කාමරය වෙත ගෙන ආයුතු බව සැලසුමේ සඳහන් වේ. විදේශ රටකදී රැජිනිය මියගියහොත් Royal Air Force අංක 32 බලඝණයට අයත් අංක 146 දරණ ගුවන් යානයෙන් ලංඩන් වෙත රැගෙන එනු ඇති. ඇය ස්කොට්ලන්තයේදී හෝ වෙනත් මාලිගාවකදී අභාවයට පත් උවහොත් ඇයගේ දේහය රැගත් දෙන රාජකීය දුම්රිය මගින් ලන්ඩන් සෙනට්ෆැන්කරාස් දුම්රිය පලට ප්‍රවාහනය කෙරෙන අතර එහිදී බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍යවරයා විසින් දේහය පිලිගැනීමට නියමිත වේ.
රැජිනියගේ අභාවයෙන් පසු ගෙවෙන සිව් වන දිනයේදී ඇයගේ දේහය රාජකීය හමුදා ගෞරවාචාර සහිත විශාල පෙරහරක් මගින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ගෙන යන අතර දින 4 ක් එම ස්ථානයේ දේහය තැන්පත් කෙරෙනු ඇත. ඒ අතර පාර්ලිමේන්තුව රැස්වී රැජිනියගේ අභාවය පිලිබඳව ශෝක ප්‍රකාශයක් සිදු කරන අතර චාල්ස් රජු රාජ්‍යත්වයට පත්වීම පාර්ලිමේන්තුව විසින් පිළිගනු ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දින 10 ක් සඳහා කල්තැබීමට නියමිත වේ.රැජිනියගේ අවසන් කටයුතු සිදුකෙරෙන දින ජාතික ශෝක දිනයක් වශයෙන් නම් කෙරේ. එදින පෙරවරු 9ට බිග් බෙන් සීනුව නාද කරමින් ශෝකය ප්‍රකාශ කරන අතර පෙරවරු 11ට ඇයගේ දේහය වෙස්මින්ස්ටර් ඇබේ (Westminister Abbey) දේවස්ථානය වෙත ගෙනයනු ඇති. එහිදී රැජිණගේ දේහය පිළිබඳව අවසන් දේව මෙහෙය සිදුකිරීමට නියමිත අතර පසුව රැජිණගේ දේහය වින්ඩ්සර් මාලිගාව පරිශ්‍රයේ ඇති රාජකීය සොහොන් ගැබ තුල තැන්පත් කෙරෙනු ඇති.
තිලාන් ජයසේකර
ලන්ඩන් නුවර සිට…