Saturday, May 18, 2024

ක්‍රිකට් ගොඩදානවා! 2024 අප්‍රේල් වෙනකං අමාරු වෙයි – ජනපති

“2024 වසරේ පළමු මාස කිහිපයත් දුෂ්කර වෙන්න යන්නේ. ක්‍රමයෙන් දියුණු වෙනවා. මේ වසරේ දළ දේශීය නිෂ්පාදනය ධන වශයෙන් ගන්න පුළුවන්. 2018 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 94.5ක්. 2022 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 77ට බැස්සා. 2023 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 85ක් වගේ. අපි තවම 2018 තත්ත්වයට ඇවිත් නැහැ. ලබන වසරේදීත් ඒ තත්ත්වයට එන එකක් නැහැ. 2025 සිට තමයි අපේ ගමන යන්න වෙන්නේ. මෙය ඊට සූදානම් වීමක්.” 

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගා සිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ  ජනාධිපති කාර්යාලයේ ඊයේ (14) පස්වරුවේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරු සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි. 

රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින්  කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය. 

Related Articles

Latest Articles