Thursday, March 6, 2025

කාන්තා දිනයේදී අපේ කාන්තාව ස්ථානගත කළ යුත්තේ කොතැනද?

කාන්තා දිනයත් එනවා, හැමදාම පාලකයො කාන්තාව සවිබල ගැන්වීම ගැන කතාකරනවා වුණත් අපේ රටේ කාන්තාව සවිබල ගන්වන්න තරම් බෙලහීන වෙලා නෑ. සියයට 52ක් ජනගහනයෙන් ආවරණය වෙන අපේ කාන්තාවන් ආර්ථිකමය, සමාජමය සහ දේශපාලන වශයෙන් බලගැන්වීම ගැන කතාකරාට අපේ රටේ කාන්තාව අංශ තුනෙන්ම ඉදිරියට ඇවිත් කියල කියන්න ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. ඒ වගේම උරුමයෙන්, අතදීමෙන් තොරව ස්වශක්තියෙන් නැගීගෙන එන කාන්තාවන් අපේ රටේ ඉන්නවා. මේ ඒ වගේ කතාවක්….

අපිට ෂර්මිලා හමුවෙන්නේ එක්තරා ආයතනයක් පවත්වපු කාන්තා වැඩමුළුවකදි. ෂර්මිලා කියන්නේ අපිට රන් කහට සපයන අපේ මලය රටේ තියෙන ලොනැක් වතුයායේ සේවයේ නියුතු කාන්තාවක්.  ඇය වතුයායේ තේ දළු නෙළන්නියක් විදියට තමයි කටයුතු කරන්නේ. ඒ ලැබෙන වැටුපින් තම දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් දෙන්න ෂර්මිලාටයි ඇයගේ ස්වාමියාටයි අවශ්‍යයි. ඒත් අධ්‍යාපනය සඳහා යම් වියදමක් අවශ්‍යයි. ඒත් ඇය උත්සාහය අත්අරින්නේ නෑ.  ඇයට මැහුම් ගෙතුම් වැඩ ලස්සනට පුළුවන්. නිතරම වතුයායේ උත්සවයකට සාරි හැට්ටයක් වුණත් මහගන්න කාන්තාවෝ ඇය හොයාගෙන එනවා.  ඒත් හැමදාම සාරි හැට්ට මහන්න උත්සව නැහැනෙ.  මේ අතරේ ඇයට සිද්ධ වෙනවා තම සහෝදර කාන්තාවගේ දරුඋපතක් වෙනුවෙන් වටවල ප්‍රාෙද්ශීය රෝහලට යන්න. මෙහිදී ඇය දකිනවා දරු උපත වෙනුවෙන් මිලදී ගන්නා රෙදි-පෙරෙදි කට්ටලය ඉතාම බාල වර්ගයේ රෙදිවලින් මැසූ එතරම් පිරිසිදුකමක් නැති රෙදි කට්ටලයක් බව…  ඒ වෙනුවෙන් පෙර කී කාන්තාව නොවටිනා මුදලක් ද ගෙවනවා. එය දකින  ඇයට එයින් අලුත් අදහසක් උපදිනවා.

‘‘මගේ මනුස්සයා කලින් කොත්තු කඩේක වැඩකරා. ගොඩක් කෑම ගණං ගිය නිසා කඩවල් ගොඩක් වැහිලා ගියා. පස්සෙ එයා වඩුවැඩ දන්න නිසා ඒ වැඩ පටන් ගත්තා. ඒත් මෙහේ වඩුවැඩ කියල මොනව කරන්නද? ඉඳල හිටල තමයි වැඩක් එන්නෙ. එයා තමයි ළමයි දෙන්නා ඉස්කෝලෙ එක්ක යන ඒවා පවා බලන්නෙ. අනික එයා මට වඩා ඉගෙනගෙනත් තියෙනවා. ‘‘

මෙහෙම තත්ත්වෙක ඉන්න ෂර්මිලා තමුන්ගේ පරණ මහන මැෂිම එළියට අරං  මහන්න ගන්නවා. ඇය ඒ වෙනුවෙන් විශාල දුරක් ගෙවා මහරගමට ඇවිත් අදාළ රෙදිපිළි, බොත්තම් සහ නූල් ආදිය අරගෙන, තමුන්ගේ ලොකු දුවත් එක්ක ඒ බඩු බස් එකක පටවාගෙන, නැවත ගමට එන්නේ වත්තේ වැඩකිරීමෙන් ලැබෙන පඩියෙන් දුවගේ වැඩිවිය පත්වීමට රත්තරං බඩුවක් හදාගන්න හංගගෙන හිටපු මුදල් ප්‍රමාණයත් සම්පූර්ණයෙන් ඉවර කරගෙන.

‘‘සෑහෙන බඩු ගොඩක් ගෙනාවා. දෙවියන්ගේ පිහිටෙන් මේ වැඩේ හරිගියොත් මට මගේ වියදම ආයේ ආවම ඇති..‘‘ කියල ඇය කිව්වා.

නමුත් ධෛර්ය සම්පන්න මිනිසුන් දෙස දෙවියන් බලන බව අපි අසා ඇති දෙයක්. ඇය කුඩා දරුවන්ගේ නැප්කින්, ඇතිරිලි, කලිසම් කමිස සහිත බේබි සෙට් මහන්න පටන් ගත්තා. ආරංචිය වටේටම ගියා. ඇයට ඇණවුම් ලැබුණා.  ඇය උදේ කාලයේ වතුයායේත් සවස් කාලයේ ගෙදර මැහුම් වැඩත් දිගටම පටන් ගත්තා. ඇයට නිදි නැති රැයවල් කරදරයක් ලෙස දැනුණේ නෑ. ඇය දිගටම මහන්න ගත්තා. ප්‍රතිඵලය වුණේ අහල ගම්මාන වලින් පවා ගර්භිණී මවුවරුන්ගෙන් ඇයට ඇණවුම් ලැබීම. අතිරික්ත ප්‍රමාණය ඇය මිටි බැඳගෙන වතුකරයේ සායන පැවැත්වෙන දිනවලට අරගෙන ගිහින් විකුණා මුදල් උපයා ගත්තා.

අද ඇය කුඩා ව්‍යාපාරයක හිමිකාරියක්. එහෙත් තවමත් ඇය ඇගේ මුල් රස්සාව අත්ඇරලා නෑ. වතු සමාගමත් දියත්වන ප්‍රජා සහන කටයුතු වලදිත් ඇගෙන්ම තමයි බෙදාදීම පිණිස මේ දේවල් මිලයට ගන්නෙත්. ඒකත් ඇයට ලොකු ශක්තියක් වුණා.

රැකියාවන් නෑ. අධ්‍යාපනයට සුදුසු රැකියාවන් නෑ කියල ලතවෙන කාන්තාවන් අපි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වලින් දකිනවා.  අපේ රටේ කාන්තාවකට විතරක් නෙවෙයි ඕනෑම මනුෂ්‍යෙයක්ට ජීවත් වෙන්න ක්‍රම ඇති තරම් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් අවශ්‍ය උත්සාහය සහ සිතිවිල්ල කියන දේ පමණයි.  අයිතිවාසිකම් ගැන,  වරප්‍රසාද ගැන කතාකරන්න කලින් තමුන්ගෙන් යම් මෙහෙවරක් ගමට, රටට සිද්ධ කරන්න හිතන කාන්තාවත් ඉතා උතුම්.  අපේ රටේ ඉහළම ස්ථාන හිමිකරගත් කාන්තාවෝ ඕනෑතරම් ඉන්නවා. ඒ සැවොම තමුන්ගේ මාර්ගය දුෂ්කර බව අවබෝධකරගෙන හිටියා.  අපේ කාන්තාවන්ට නිදහසේ කල්පනා කරලා ඇයට තීරණය ගන්නට ඉඩ දිය යුතුයි තමාගේ ජීවිතය සහ අනාගතය ගැන. එය බලපෑමකින් තොරව නිදහසේ තීරණ ගන්නට ඉඩ ලැබෙන දවසක් උදාවේනම්, එදාට අපේ රට ලෝකය ජයගැනීම පටන් ගනීවි. ඇය ඇගේ තැන තීරණය කරාවි. රට ඉදිරියට යාවි.

එවරස්ට් තරණය කළ ශ්‍රී ලාංකික කතක් වූ ජයන්ති කුරු උතුම්පාල මෙහෙම අදහසක් පළ කරල තිබුණා. ‘‘”අපේ සමාජයේ හුඟක් ලිංගිකත්වය මත ස්ථාපිත ආදර්ශ (gender stereotypes) තියෙනවා,මේකෙන් පේන්නේ, අපිට ඉඩක් දුන්නොත්, කාන්තාවකටත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක. තමන් කාන්තාවක් වීම දුර්වලකමක් කියල හිතන්න එපා. සමාජය කොච්චර කිවුවත් කාන්තාවක් වීම නිසා කරන්න බෑ කියල, ඒවා පිළිගන්න එපා. මොකද කාන්තාවන් හැටියට අපි සෑහෙන ශක්තිමත්. කළ යුත්තේ කුමක්ද අපි තීරණය කළ යුතුයි.‘‘

රන් කහට හැදෙන රන් තේ දළු නෙලන්නියගේ සිට ජනාධිපති ධුරය තෙක් මෙරට ජීවත්වන කාන්තාවන්ට ඒ උපදේශය වැදගත් වෙනවා…

Related Articles

Latest Articles