Tuesday, November 12, 2024

කැබිනට් සංශෝධනයත් රිවස්. ජනපතිට කැබිනට් සංශෝධනය හිසරදයක් වෙයි

පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට විවිධ චෝදනා එල්ල වීම හේතුවෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් මීට සති කිහිපයකට පෙර සැලසුම් කර තිබුණේ අලුත් අවුරුද්දේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකොට අලුත් මුහුණුවරකින් නව වසර ආරම්භ කිරීමටය.

ඒ අනුව ඊට අදාළ සාකච්ඡා ආණ්ඩුව ඇතුළේ යද්දී ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවූයේ තරමක කරදරකාරී අත්දැකීමකටය. ඒ, ආණ්ඩුවේ සිටින කැබිනට් ඇමැතිවරුන්ගෙන් පමණක් නොව රාජ්‍ය අමාත්‍යවරුන්ගෙනුත්, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙනුත් දිගින් දිගටම විවිධ ඉල්ලීම් ගලා ඒම නිසාය.

එහිදී ඇතැම් කැබිනට් ඇමැතිවරුන් තමන්ට වෙනත් කැබිනට් අමාත්‍ය ධුර ලබා දෙන ලෙසටත්, රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙසටත්, මන්ත්‍රීවරුන් තමන්ට කුමන හෝ අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙසටත් දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කිරීම හේතුවෙන් කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයාට හිසරදයක් බවට පත්ව තිබිණි.

ඇතැම් මැති ඇමැතිවරුන් ඍජුවමත්, ඇතැම් මැති ඇමැතිවරුන් තුන්වැනි පාර්ශ්වයන් හරහාත් මෙම ඉල්ලීම් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා පසුගිය සතියේ සිටියේ තරමක් නොසතුටෙනි.

ජනාධිපතිවරයාගේ මේ නොසතුට පසුගිය සතියේ එළියට පැන්නේ සියඹලාණ්ඩුවේ කළ සංචාරය අතරතුරදීය. එහිදී ජනාධිපතිවරයා ජනතාව අමතමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ මැති ඇමැතිවරුන් කැබිනට් ඇමැති ධුර සම්බන්ධයෙන් තමන්ගෙන් විවිධ ඉල්ලීම් කරන නමුත් කැබිනට් අමාත්‍ය ධුර එසේ ලබාදිය නොහැකි බවය. තමන් කිසිම ලෙසකින්වත් කැබිනට් අමාත්‍ය ධුර 30 ඉක්මවා ලබා නොදෙන බවට සහතිකයක්ද ජනාධිපතිවරයා මෙහිදී ලබා දුන්නේය.

මේ ආකාරයට ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද කැබිනට් සංශෝධන කතාවෙන් පසු කිසිදු ඉස්පාසුවක් නොවීය. ඊට හේතු වී තිබුණේද විවිධ මැති ඇමැතිවරුන් ඇමැති තනතුරු ඉල්ලමින් අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් පස්සේ වැටී සිටීම නිසාය.

මෙය කරදරයක් වන තැනටම ඔඩුදිවීම නිසා අවසානයේදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් තීන්දු කළේ පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු නොකොට ඇමැතිවරුන්ගේ ආයතන පමණක් වෙනස් කොට සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකිරීමටය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles