Saturday, January 18, 2025

කොවිඩ් ලැම්ඩා ප්‍රභේදයටත් එන්නත්වලින් ආරක්ෂාවක් ලැබේවි

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදය වන ලැම්ඩා ප්‍රභේදයටත් දැනට භාවිතා කරන කොවිඩ් මර්දන එන්නත්වලින් ආරක්‍ෂාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.

කොවිඩ් ඇල්ෆා ප්‍රභේදයට තරම් නැතත් ඩෙල්ටා ප්‍රභේදයට ද කොවිඩ් මර්දන එන්නත් මගින් ආරක්‍ෂාවක් ලැබෙන බව හෙළි වී ඇති නිසා ඉදිරියේදී පැමිණෙන නව ප්‍රභේදවලටත් එන්නත් මගින් ආරක්‍ෂාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඇය සඳහන් කළාය.

එමෙන්ම කොවිඩ් වෙනස් ප්‍රභේද පැමිණියත් වර්තමානයේ භාවිතා වන ප්‍රතිකාර ක්‍රම ඒ සඳහා ද යොදාගැනීමේ හැකියාව ඇතැයි ද ඇය කීවාය.

විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඩ් රෝගීන්ට ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ ටොසිලිසු මැබ් නම් ඖෂධය ගැන වර්තමානයේ බොහෝ දෙනෙක් විමසන බව කී වෛද්‍යවරිය එය රෝගීන්ට ලබාදින යුත්තේ විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව පමණක් බව ද කීවාය.

කොවිඩ් පාලනය සඳහා දැනට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය බව කී වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය එන්නත ලබාගැනීමෙන් වයිරසය ආසාදනයවීම අඩුවීම, එන්නත් දෙකම ලබාගත් පසු වයිරසය ආසාදනය වුවත් සංකූලතා විශාල ලෙස අඩුවීම, සංකූලතා ඇතිවුවත් මරණයට පත්වීමේ හැකියාව අඩුවීම සහ එන්නත ලබාගත් අයකුගෙන් තව කෙනෙකුට වයිරසය ආසාදනයවීම අඩුවීම යන වාසි සැලසෙන බව ද කීවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles