Friday, November 15, 2024

කොළඹ හොඳම තැන් චීනයට සහ සමාගම් වලට…

වරාය සතු ඉඩම් පුද්ගලික අංශයට ලබාදීමට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට වරාය වෘත්තිය සමිති අද (08) ඒකාබද්ධ හමුවක් කැඳවා තිබුණි.

වරාය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් අක්කර 13 ක ඉඩමක් වරාය සේවා සැපයීමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි සී.අයි.සී.ටී. සමාගමට ලබා දීමේ සූදානමට එරෙහිව වෘත්තිය සමිති නියෝජිතයින් අද මෙලෙස රැස්වුණේ වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ලෙසය.

වෘත්තිය සමිති 15 ක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්, නිරෝෂන් ගොරකානගේ මහතා
මේ අංක එක දොරටුව ආසන්නයේ ඒ වගේම චෛත්‍ය පිටිපස්සේ සී.අයි.සී.ටී. එක එස් ඒ.ජී.ටී. එක, ඩබ්ලිව්.සී.ටී එකට ප්‍රවේශ මාර්ගය පෝට් සිටි එකට ආසන්නයේ මේ පෝට්සිටි එක එහා පැත්තේ තියෙන්නේ. මායිමට මායිම් වෙලා තියෙන්නේ මේ අක්කර දහතුන. මේක හිස් ඉඩමක්. මෙවැනි ඉඩමක් මේ කොළඹ නගරයේ නෑ. වරාය අධිකාරිය සතුව නෑ. ඒක නිසා මේකේ වටිනාකම මිල කරන්න බෑ. ඒ ඉඩම තමයි අක්කර දහතුනක් මාසෙකට අක්කරේකට අය කරන්න බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ අටහමාරක්.අපි අහනවා ලක්ෂ අටහාමාරකට අක්කරේකට මේ අග නගරෙන් කොහෙන්ද ගන්න තියෙන්නෙ ඉඩමක්. මූලික ගාස්තුවක් නෑ. ඒක මේ බරපතල කාරණයක්. මේක ඇතුළේ අතයට ගනුදෙනුවක් ඇත කියන එක තමයි, අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න සූදානම්. එහෙම නැතිවුණොත් අපි ඉන් එහාට ක්‍රියාමාර්ග ගන්න අපි පසුබට වෙන්නේ නැති බව කියන්න ලෑස්තියි.

අපේ රටේ ඉතා වටිනා ආර්ථික මර්මස්ථාන රැසක්ම මේ වනවිට විදේශීය රටවලට හෝ ඔවුන්ගේ හවුල්කාරිත්වයට නතු වී තිබේ.

කොළඹ වරායේ දකුණු පර්යන්තයේ චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි අතර යාබද වරාය නගරයද චීන ආයෝජනයකි.

බටහිර පර්යන්තය මේ වනවිට ඉන්දීය සමාගමකට ලබාදී තිබේ.

කොළඹ නගරයේ ඉතා වටිනා ඉඩම් රැසක්ම චීන හා ඉන්දීය සමාගම් බදු හෝ විකුණුම් පදනම මත දැනටමත් අත්පත් කරගෙන ඇති අතර ඒවායේ ආයෝජන ව්‍යපෘති ද ක්‍රියාත්මකය.

හම්බන්තොට වරායේ මෙහෙයුම් ප්‍රතිලාභ හිමි සමාගමේ වැඩි කොටස් අයිතිය චීනය සතුවන අතර ත්‍රිකුණාමලය වරායට මේ වනවිට ඉන්දියාවේ හා අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය මේ වනවිට පරිපාලනය කරන්නේ ඉන්දිය සමාගමකි.

උතුරේ දූපත් තුනක චීන බලශක්ති ව්‍යපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කෙරෙමින් ඇති අතර පළාලි ගුවන් තොටුපොළ සංවර්ධනයට ඉන්දියාව හවුල්වී සිටි.

මේ අයුරින් රටේ වැදගත් ස්ථාන ගණනාවක් මේ වනවිට විදේශ රටවලට හෝ ඔවුන්ගේ සමාගම්වලට සම්බන්ධ පාර්ශව අතට විවිධ ක්‍රමවලින් පත්වෙමින් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles