Monday, September 23, 2024

ගෙන්වූ කොවිඩ් එන්නත් ගණන කෝටි 2 පනී – මහාචාර්ය චන්න ජයසුමන


කොවිඩ් මර්දනය සඳහා මේ දක්වා මෙරටට ගෙන්වූ සියලු එන්නත් මාත්‍රා සංඛ්‍යාව කෝටි දෙකේ සීමාව ඉක්මවා ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ (24) මෙරටට ගෙන්වීමත් සමඟ මෙරටට ගෙන්වූ සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 208 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට ජනගහනයෙන් කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ලබා ගත් පිරිස 12,126,492ක් බවත් දෙවැනි මාත්‍රාව ලබා ගත් පිරිස 5,807,496ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 2.8ක් ද, ස්පුට්නික් 180,000 ක් ද, සයිනොෆාම් මිලියන 15.7 ක් ද, ෆයිසර් 569,000 ක් ද, මොඩර්නා මිලියන 1.5ක් ද මෙරටට ලැබී ඇත. මෙරටට එන්නත් ගෙන්වීම ක්‍රම තුනක් මඟින් සිදු කරයි. මිලදී ගැනීම්, පරිත්‍යාග, කොවැක්ස් පහසුකම යන ක්‍රම තුනට එන්නත් ලැබීම සිදු වේ. මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5 ලැබීම සිදු වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්‍රියාත්මක කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකානු ප්‍රදානයක් වශයෙනි. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 264,000 ක් ද කොවැක්ස් පහසුකම යටතේ ලැබී තිබේ. ජපානයෙන් ද ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා මිලියන 1.6ක් කොවැක්ස් පහසුකම යටතේ ලැබිණි. පරිත්‍යාග ලෙස ඉන්දියාවෙන් මුලදීම මිලියන මාත්‍රා ලක්ෂ 5ක් ලැබිණි. චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.7ක් පරිත්‍යාග ලෙස ලැබිණි.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කරන එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කරන බවත් එම වයස් කාණ්ඩයේ සිටින එන්නත ලබා ගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි පිරිසට අදාළ ස්ථානයන්ට ගොස් එන්නත් කිරීම සිදු කරන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (24) ප්‍රකාශ කළාය.

මෙරට ජනගහනයෙන් සියයට 14ක් වැඩිහිටි ජනගහනය බවත් එම පිරිස අනිවාර්යයෙන් කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් ලබා ගත යුතු බවත් ඇමැතිවරිය පැවසුවාය.

මේ දක්වා එක් මාත්‍රාවක්වත් නොගත් වැඩිහිටි ජනතාව එන්නත ලබා ගැනීමට උනන්දු විය යුතු අතර කොවිඩ් මර්දනයෙන් මරණයක් සිදු වීමට ඉඩක් තිබේ නම් එන්නත ගැනීමෙන් එය වළක්වා ගැනීමේ හැකියාවක් පවතින්නේ යැයිද ඇමැතිවරිය කියා සිටියාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles