Saturday, January 11, 2025

චන්ද්‍රිකා ජනපතිගෙන් කළ ඉල්ලීම

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැනට සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ජනාධිපතිවරයාට යැවූ බව කියන ලිපියද ඇය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබෙනවා.

එම ලිපිය පහතින් කියවිය හැකියි.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ශ්‍රී ලංකා ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමනි,

රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන රංජන් රාමනායක මහතා 2021.01.12 දින සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 04 ක සිරදඬුවමකට ලක්ව සිටී.

රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද ඔහු බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙකි.

බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් ඔබ රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.

මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට,
විශ්වාසී වූ,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
හිටපු ජනාධිපතිනි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles