Monday, January 13, 2025

ජනපති ගෝඨාභය සහ කෙන්යා ජනපති අතර සුහද දුරකථන සංවාදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. නායකයන් දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ කෙන්යානු ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

දැනටමත් ජනතාවගෙන් 70%කට එන්නත්කරණය සිදු කරමින් ක්‍රියාත්මක මෙම ක්‍රමවත් වැඩසටහන සෙසු ජාතීන්ටද ආදර්ශයට ගත හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රෝගීන් සහ මරණ සංඛ්‍යාව හොඳින් කළමනාකරණය කරගත හැකි වූ නමුත් මෙම වසර මැද භාගයේ දී නව කොවිඩ් ප්‍රභේද මතු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කර තිබෙනවා.

ඉතිහාසයේ පටන් විවිධ අභියෝගවලට මුහුණ දී, නැගීසිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඇති බව පෙන්වා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම වසංගතය ද පාලනය කර සාර්ථකව නැගී සිටීමට හැකි බව කෙන්යානු ජනාධිපතිවරයා වෙත සදහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම දුරකථන සංවාදයේදී දෙරටේ නායකයින් ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles