ශ්‍රී ලංකා හා ජපානය අතර පවත්නා දීර්ඝ කාලීන ආර්ථික සහයෝගීතාවය හේතුකොට ගෙන වාර්ෂික ප්‍රදාන ආධාර යටතේ ජපාන රජයෙන් රුපියල් මිලියන 2,400 ක ප්‍රදානයක් සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා ලබා දීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාව සතු වෙරළ තීරයෙහි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරන මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ඔවුන් සතු හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. ඒ සඳහා, ජපාන රජය විසින් කිලෝවොට් 1,440 ක ජවයකින් යුත් ඩීසල් එන්ජින් මගින් බල ගැන්වෙන මීටර් 30ක පමණ දිගින් යුතු මුර සංචාරක යාත්‍රා 2ක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය කිරීමට නියමිතය.
ඒ අනුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් දැනට නිරීක්ෂණය කරන්නා වූ මුහුදු සැතපුම් සංඛ්‍යාව හා වසරක් තුළ සිදු කරන දෛනික මුර සංචාර සංඛ්‍යාව වැඩි කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
එමගින් හදිසි අවස්ථාවන්හිදී ද ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහ සෝදිසි මෙහෙයුම් සඳහා කඩිනම් ප්‍ර තිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත වේ. ඊට අමතරව වෙරළාශ්‍රිත හොර බඩු ජාවාරම්, අනවසර මසුන් ඇල්ලීම හා නීති විරෝධී මිනිස් ජාවාරම් වැනි සමුද්‍රීය අපරාධ පිළිබඳ විමර්ශනය සඳහා ද අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත.
එමෙන්ම නාවික යාත්‍රා මගින් සමුද්‍ර කලාපයේ සිදුවන තෙල් කාන්දු වීම වැළැක්වීම හා ඉවත් කිරීමත්, සමුද්‍රීමය පරිසරය හා ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමත් මෙම ව්‍යාපෘතිය යටතේ අපේක්ෂිත ප්‍රතිලාභ වේ.
මෙම ප්‍රදානය ලබාගැනීම සම්බන්ධ හුවමාරු ගිවිසුම අත්සන් කිරීම ඊයේ (30) දින මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. හුවමාරු පත්‍ර අත්සන් කිරීම ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා විසින් ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද ප්‍රධාන ගිවිසුම අත්සන් කිරීම ජපන් රජය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමඩා මහතා විසින් ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා අතින් ද සිදුවිය.