උපයන සෑම රුපියල් සියයකින්ම රුපියල් අසූ හතක් විදේශ ණය වාරික හා පොළී වෙනුවෙන් වෙන් කිරීමට සිදුව ඇති බරපතළ ණය උගුලකට අපේ රට හසුව තිබෙන මොහොතක පසුගියදා ලෝක ආර්ථික බලවතුන්ගේ ජී. 7 සමුළුවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්‌ථාව ලැබුණා. ජාත්‍යන්තර වශයෙන් රටකට හිමිවන ගෞරවයක් ලෙස පිළිගැනෙන මේ අවස්‌ථාව තුළින් අද අපේ රට සිරවී තිබෙන මේ ණය උගුලෙන් යම් සහනයක් ලබාගැනීමට හැකිවෙයිද? ජී. 7 සමුළුව තුළින් අපේ රටට ලබාගත හැකි ආර්ථික වාසි කවරේද? ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමිල මෙත්සීල පෙරේරා ඒ පිළිබඳ කරන විග්‍රහයකි මේ.
ජී 7 සමුළුවේ දී අපේ රටටත් ජනාධිපතිතුමාටත් ලැබුණු උණුසුම් ප්‍රතිචාරය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?
ජී 7 සමුළුව කියන්නෙ ලෝක ආර්ථිකයෙන් තුනෙන් දෙකකට වඩා පාලනය කරන බලවත් රාජ්‍යයන්හි එකතුවක්. පසුගිය කාලෙ අපේ රටේ දේශපාලන ක්‍රියාවලිය දෙස බලන විට ලෝකයේ මේ බලවත් රටවල් සමග අපේ රටේ තිබුණු සබඳතා යම් ආකාරයකට දුර්වල වුණා. අපේ රටේ වාමාංශික දේශපාලන ක්‍රියාවලිය තුළ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ පාලන කාලවලදී වඩාත් සමීප සබඳතාවන් පැවැත්වුණේ රුසියාව, චීනය වැනි රටවල් සමගයි. එක්‌සත් ජාතික පක්‌ෂ පාලන කාලවලදී වැඩි සබඳතාවන් ගොඩනැගුණේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් සමගයි. එජාපයත් ශ්‍රීලනිපයත් වරින් වර මේ රට පාලනය කරන අවස්‌ථාවල මේ ආකාරයට ජාත්‍යන්තර වශයෙන් යම්කිසි කල්ලිවාදයක් පැවතුණා. අපේ රටේ වර්තමාන ආණ්‌ඩුව මේ පක්‌ෂ දෙකේම එකතුවක්. වර්තමාන ජනාධිපතිතුමා පත්වූ වහාම අවධාරණය කළ එක් දෙයක් තමයි අපි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි කියන කාරණය. මම හිතන්නෙ අපේ රට මේ බල තුලනයේ නරකම අත්දැකීම් ලැබුවේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ අවසාන කාලයේ. චීනය සහ ඇමරිකානු විරුද්ධ රාජ්‍යයන් සමග දැඩි සබඳතාවක් එතුමා සිය පාලන සමයේ අවසාන කාලයේ දී ගොඩනගා ගත්තා. මේ නිසා අපේ රට දිගින් දිගටම ලෝකයේ වැඩි බලය සහිත රාජ්‍යයන්හි පීඩනයට ලක්‌වුණා. ඒ රටවල් අපට වචනයෙන් ආර්ථික සම්බාධක පැනෙව්වෙ නැති වුණාට ඔවුන්ගෙන් අපට ආර්ථික සම්බාධක තිබුණා. ජී. එස්. පී. සහනය නැතිවුණා. සාමාන්‍ය පුද්ගලයින්ට පමණක් නොව දේශපාලනඥයන්ට පවා යුරෝපයට යැමට වීසා පවා ගැනීමට අසීරු වුණා. අපේ රට ජාත්‍යන්තර වශයෙන් කිසියම් කොන්වීමකට ලක්‌වුණා.
අපේ රට මේ දේශපාලන පරිවර්තනයකට යන්නෙ ජාත්‍යන්තර වශයෙන් අපේ රටට එබඳු පරිසරයක් තිබියදී. මේ දේශපාලන පරිවර්තනයට පෙර ඊට ආසන්න කාලයේ මුළු රටම කතා කළ මාතෘකාවක් තමයි මානව හිමිකම් උල්ලංඝනය වීම කියන කාරණය. ඒ හරහා අපේ රටට වෙළෙඳ සම්බාධක පැනවේවිද කියන බයකුත් තිබුණා. අද ඒ තත්ත්වය එහෙම්පිටින්ම වෙනස් වෙලා අපේ රටට විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් අද ලැබිල තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපේ රටට ලැබිල තිබෙන කීර්තිය හොඳින් පැහැදිලි වුණු අවස්‌ථාවක් තමයි මෙවර ජී. 7 සමුළුව. රටක රාජ්‍ය නායකයකුට ජී. 7 සමුළුවට සහභාගි වීමට ආරාධනයක් ලැබෙන්නෙ කලාතුරකින්. වර්තමාන ජනාධිපතිතුමාට ඒ සඳහා විශේෂ ආරාධනයක් ලැබුණා. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනියේ රාජ්‍ය නායකයෝ අපේ ජනාධිපතිතුමා ඉතාමත් ඉහළින් පිළිගත් විලාසයත් අපේ රටට අද හිමිව තිබෙන ජාත්‍යන්තර තත්ත්වය විදහා පෑමක් ලෙසයි මා දකින්නෙ. අපේ ජනාධිපතිතුමා කළ කෙටි දේශනයට පවා ඔවුන් විශාල වටිනාකමක් ලබා දුන්නා.
අපේ රට අද සිරවී සිටින්නේ උපයන සෑම රුපියල් සියයකින්ම රුපියල් අසූ හතක් පිටරටින් ලබාගත් ණය මුදලේ වාරික සහ පොලිය වෙනුවෙන් වෙන්කිරීමට සිදුවී තිබෙන ණය උගුලකයි. ජී. 7 සමුළුවෙදි අපේ රටට ලැබුණු මේ විශේෂ ගෞරවය මේ ණය උගුලෙන් ගැලවෙන්න කිසියම් උපකාරයක් කරගත හැකි වෙයිද?
අපේ රටේ ආර්ථිකයේ දිගටම තිබුණු මේ අර්බුදය නිසා පසුගිය රජය ණය ගත්තෙ විවෘත වෙළෙඳපළ උපාය මාර්ග යටතේයි. එහිදී ණය ගන්න වෙන්නෙ ඉතා ඉහළ පොළී අනුපාතවලටයි. එම ණයවලට සියයට හතකට වඩා වැඩි පොළියක් ගෙවන්න සිදුවුණා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි පිළිගත් ආයතනයක් සමග ගනුදෙනු කරද්දී අඩු පොළී අනුපාත යටතේ ණය ලබාගන්න පුළුවන්. මේ ණය උගුලෙන් ගැලවෙන්න නම් අපි මුලින්ම ඉතාමත් අඩු පොළී අනුපාත යටතේ ණය ලබාගැනීමේ ක්‍රමවේදයකට යා යුතුයි.
ඉන්දියාව, චීනය වැනි රටවල් කිසියම් තරගකාරී ක්‍රමයකටයි කටයුතු කරන්නෙ. අපි කරන්නෙ මේ රටවල්වලින් භාණ්‌ඩ මිලදී ගැනීමයි. නමුත් අපේ අපනයන වෙළෙඳපළ තිබුණෙ යුරෝපා රටවලයි. පහුගිය කාලෙ අපි තරහ කරගත්තෙ අපෙන් බඩු ගත්ත මේ රටවල්. නැවතත් අපි යුරෝපීය වෙළෙඳපළ ශක්‌තිමක් කරගත්තොත් ඔවුන් අපේ බඩු මිලදී ගනීවි. අපේ මාළුවලට පවා සම්බාධක පැනවුණු කාලයක් තිබුණා. ඇඟලුම් කර්මාන්තය කඩාවැටුණා. මේ භාණ්‌ඩ සඳහා යළිත් යුරෝපා වෙළෙඳපොළ විවෘත කරගන්න පුළුවන් නම්, අපට ඒ රටවල රැකියා වෙළෙඳපොළට ඇතුල්වෙන්න පුළුවන් නම් යුරෝපීය ආයෝජකයෝ අපේ රටට ගෙන්වාගන්න පුළුවන් නම් අපට මේ අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්. ඒ සඳහා පළමු පියවර ජී 7 සමුළුව තුළින් ජාත්‍යන්තරය දිනාගැනීමයි.
සාකච්ඡා කළේ පාලිත සේනානායක