Saturday, May 18, 2024

බුදුන් වැ`ද දවස පටන්ගත් සකේ වෙනුවට දෙහි විදුරුවක්‌ බිවු ජනාධිපති මෛත්‍රිගේ ජී 7 ගමන

ලොව බලවත් රාජ්‍යවල නායකයන් එකට එකතු වූ ඒ දින කිහිපය ජපානයට සුවිශේෂී විය. ජපානයට මතු නොව මුළු විශ්වයටම ඒ දින කිහිපය සුවිශේෂී විය. ජපානයේ පැවැති එම සුවිශේෂී හමුව ජී 7 සමුළුව නම්වේ. එසේ ජපානයට එක්‌ රොක්‌ වූ රටවල් අතර ඇමරිකා එක්‌සත් ජනපදය, කැනඩාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය ජී 7 සමුළුවේ ප්‍රධාන සාමාජිකයෝ වූහ. සත්කාරක ජපානය එහි සභාපතිත්වය ඉසිලීය.

එකී සමුළුවට සමගාමීව පැවැති තවත් සමුළුවක්‌ විය. එය ජී. 7 සමගාමී සමුළුව නම් විය.

ජී 7 සමගාමී සමුළුවට ලොව තවත් පිළිගත් රටවල් කිහිපයක්‌ද නිල වශයෙන් ඇරැයුම් ලැබීම සම්ප්‍රදායයකි. එහෙත් හතළිස්‌ එක්‌ වතාවක්‌ම අපට එම ඇරයුම ලැබී නොතිබුණි. මෙවර ඒ සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේ ජී 7 සමුළුවේ සභාපතිත්වය දරන ජපාන අගමැති ෂින්ෂෝ අබේ මහතාය. එම නිල ආරාධනාවේ තවත් විශේෂ කරුණු වන්නේ ජපාන අගමැතිවරයා සමගාමී සමුළුව සඳහා පළමුව මෙවර ආරාධනා කළේද ශ්‍රී ලංකාවටය.

අබේ මහතාගේ නිල ඇරැයුම සතුටින් භාර ගත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමුළුවට කෝඩුකාර අපේ රට නියෝජනය කරමින් සාඩම්බර රාජ්‍ය නායකයෙක්‌ ලෙස ජපානය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජපන් සංචාරය හෙවත් ජී 7 සමුළුවේ සහභාගිත්වය රටට ඉතා ඵලදායක වූ බව කියවේ.

ශ්‍රී ලංකාවට ජපානයෙන් යෙන් බිලියන 38 ක මුදලක්‌ එනම් රුපියල් කෝටි 5000 ක්‌ සියයට දශම එකක්‌ තරම් අඩු පොළියක්‌ යටතේ ණය ආධාර ලෙස එහිදී හිමි විය. එමෙන්ම කොළඹ වරායේ කටයුතු සඳහාත් ත්‍රිකුණාමලය වරායේ කටයුතු සඳහාත් ජපානය එහිදී ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට පොරොන්දු විය. ඒ සියල්ල මුදලින් මැනිය හැකි දේ වුවත් ජනපති එකී සංචාරයේදී අප රටට හිමි කර දුන් මුදලින් මැනිය නොහැකි, අමිල වූ දේ අපමණය. ඒ කීර්තිය, ගෞරවය, ප්‍රශංසාව කෝටි 5000 ක්‌ නොව ඊට වඩා සිය ගුණයකින් අගනා බව කියෑවේ. ඒ අනභිභවනීය බව රටට ලැබුණේ ජනපතිවරයාගේ රාජ්‍ය පාලනය, ක්‍රියා කලාපය, ගති පැවතුම් ආදී සියලු ලක්‍ෂණ කේන්ද්‍ර කර ගනිමිනි.

“ඔබ ලොව අනෙක්‌ රාජ්‍ය නායකයන්ට ආදර්ශවත් චරිතයක්‌ (රට වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ කළ අයෙක්‌) ඔබ රටේ සාමය සංහිඳියාව ඇති කළා පමණක්‌ නොවේ. තමන්ට තිබුණු බලතලත් අන් අය අතරේ බෙදා දුන් විශිෂ්ට නායකයෙක්‌.”

ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමෙරිකා ජනාධිපති බරක්‌ ඔබාමා මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ජපානයේදී එසේ ප්‍රශංසා කළේය. ඒ ප්‍රශංසාව කිරීමටද ඔබාමාට තරමක්‌ බලා සිටින්නට සිදු විය. මන්ද ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජලා මර්කර් මහත්මිය ඒ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමු වී ඔහුට ප්‍රශංසා කරමින් සිටි නිසාය. ඊට පෙර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ජනාධිපතිවරයාට සුබ පැතුවේය. මෙසේ ලොව බලවත්හු එකිනෙකා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට කිත් පැසසුම් ගෙන ආහ. සුභාශිංසන එක්‌ කළහ.

ජනාධිපතිවරයාට ජී 7 සමගාමී සමුළුවේ අසුන් ගන්නට ඉඩ ප්‍රස්‌ථාව සලසා තිබුණේ ඇමෙරිකා ජනාධිපති බරක්‌ ඔබාමා සමඟ මුහුණට මුහුණ සිටින අයුරිනි. ජනාධිපතිවරයාගේ දකුණු පසින් ජපන් අගමැති ෂින්ෂෝ අබේ මහතාද වම් පසින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යන ප්‍රබල රාජ්‍ය නායකයෝ දෙදෙනා වූහ. මෙවන් ගෞරවයක්‌ ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයකුට මීට පෙර උරුම වී නොතිබුණ අතර ඔවුහු එවැන්නක්‌ ශ්‍රී ලංකාවට උරුම කර දීමටත් අපොහොසත්ව සිටියහ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජී 7 සමුළුව සඳහා දිවයිනෙන් පිටව යන්නේ 25 වැනිදා රාත්‍රියේය. සාමාන්‍ය මගී ගුවන් යානයකින් දිවයිනෙන් පිට වූ ජනාධිපතිවරයාට සිංගප්පූරුවේද පැය හතර හමාරක්‌ බලා සිටින්නට සිදු වේ. ඒ ජපානයට යැමේ දෙවැනි අදියර ලෙසිනි. එම කාලය තුළ ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිලනිවසට ගොස්‌ රාත්‍රි ආහාරය ලෙස රතු ඉඳිආප්ප ස්‌වල්පයක්‌ අනුභව කරන්නේ ගුවන් තොටුපළේ සිටිනවාට වඩා එය පහසු යෑයි තීරණය කළ නිසාවෙනි.

ජපානයේ නගෝයා ගුවන් තොටුපළට පසු වැනිදා උදෑසන 9.30 වන විට ළඟා වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සාමාන්‍ය මගී පර්යන්තයෙන් ජපන් බිමට පය තැබුවේය. ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ මේ සරල හැසිරීම පිළිබඳ ජපාන ගුවන් තොටුපළ කාර්ය මණ්‌ඩලය විමතියෙන් මෙන් එකිනෙකාගේ මුහුණ දෙස බලද්දී සුපුරුදු සිනහවෙන් ඔවුන්ට සංග්‍රහ කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන් පිටව ගියේය.

ජනාධිපතිවරයාගේ මේ සරල, චාම් බව විදහා දැක්‌වූයේ එපමණකින් පමණක්‌ නොවිණි. ඔහුට නවාතැන් සැපයූ ජපානයේ හිල්ටන් හෝටලයේදීද එය දිස්‌ විය. නේක රසමසවුළුවලින් පිරී ඉතිරී ගිය එම සුපිරි හෝටලයේදී ජනාධිපතිවරයාගේ උදෑසන ආහාරය වූයේ කිරිබත්, බතල, ලුණු මිරිස්‌ සහ කෙසෙල් ගෙඩියකි. හෝටලයේදී කිසිදු විශේෂ ආහාරයකින් සප්පායම් නොවුණු ජනාධිපතිවරයා හැසිරීමෙන්, ගති පැවතුම්වලින් පමණක්‌ නොව කෑමෙන් බීමෙන්ද ලාංකික අනන්‍යතාව ලොවට ගෙන යමින් සිටියේය. බත් ස්‌වල්පයක්‌ද ගමේ ගෙදරක බත් පතේ ඇති කොස්‌ වැනි වෑංජන කිහිපයක්‌ද තම ආහාරය පිණිස එකතු කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ජනාධිපතිවරයාට අවශ්‍ය මෙම ආහාරපාන සපයා දීම සඳහා හෝටලයේ කාර්ය මණ්‌ඩලයට උදව් කිරීමට ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.

සුපුරුදු ලෙස ජනාධිපතිවරයාගේ හෝටල් කාමරයේ මෙවරත් බුදු පිළිමයක්‌ තබා ආගමික කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කර තිබිණි. ඒ අනුව පළමුව බුදුන් වැඳ දවසේ රාජකාරි ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ පත්තර ටික බැලීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය. විශේෂයෙන් ගංවතුරෙන් හා නායයැමෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය සහන සැලසීමටත්, සහනාධාර ලබා දීමටත්, නැවත පදිංචි කිරීම් කඩිනමින් සිදු කරන ලෙසත් ජපානයේ සිට අදාළ බලධාරීන් දැනුවත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේ ඒ අනුවය.

ජී 7 සමුළුවේ ප්‍රධාන සමුළුව පසුගිය 26 වැනිදා පැවැති අතර එහි සමගාමී සමුළුව 27 වැනිදා පැවැත්විණි. ජනාධිපතිවරයා එහිදී කළ විශේෂ දේශනය රාජ්‍ය නායකයන් සියලු දෙනාගේ ඇගයුමට ලක්‌ වූ බව නොරහසකි. එම සමුළුවට පසු රාජ්‍ය නායකයෝ එකිනෙකා සුහදව කතා කිරීමටත්, එකිනෙකාට ප්‍රශංසා කර ගැනීමටත් කටයුතු කළහ.

ජපානයේ අයිච් ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරවරයා රාජ්‍ය නායකයන් වෙනුවෙන් සූදානම් කළ සව්දිය පිරීමේ සාදයටද සමුළුවට පැමිණි සියලු රාජ්‍ය නායකයෝ අනතුරුව සහභාගි වූහ. ඒ හැම දෙනාගේම අතේ සකේ පිර වූ මධු බඳුනක්‌ විය. සකේ යනු ජපන් ජාතිකයන් මත් වීම සඳහා පානය කරන සම්ප්‍රදායික බීමකි. එහෙත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අතේ පමණක්‌ එවැන්නක්‌ නොවිණි. ඔහු සකේ වෙනුවට තෝරාගෙන තිබුණේ දෙහි යුෂ ය.

“අපේ ජනාධිපතිතුමා නම් ඔය මත් වෙන ජාති කිසි දෙයක්‌ බොන්නේ නැහැනේ ඒකනේ ලයිම් ජූස්‌ එකක්‌ අතේ තියා ගෙන ඉන්නේ” යෑයි මෙය දුටු ඇමැති රවි කරුණානායක මහතා ජපානයේ ශ්‍රී ලංකා තානාපති ධම්මික ගංගානාත් මහතා දෙස හැරෙමින් පැවසීය.

ජපානයේ ශ්‍රී ලංකා සංසදය විසින් සූදානම් කර තිබූ හමුවකටද ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට පෙර සහභාගී විය එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සූදානම් කළ සංග්‍රහයට පැණි වළලු ද තිබිණි. මේ පැණි වළලු දුටු ” පැණි වළලු” ග්‍රන්ථයේ කතුවර තානාපති ගංගානාත් මහතාට අතීත කතාවක්‌ සිහිපත් විණි. ඔහු එය ජනාධිපතිවරයාට පැවසීය.

එම ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වූයේ වත්මන් ජනාධිපතිය. එකල ඔහු සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර එකල විපක්‍ෂ නායකයා වූ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම උළෙලේ දෙවැනි ප්‍රධාන ආරාධිතයා වූයේය. මෙදා ජපානයේදී පැණි වළලු කන ගමන් ලංකාවේදී එදා රස විඳි පැණි වළලු සිද්ධිය පිළිබඳ මතකයද ඒ අනුව ජනාධිපතිවරයාට ආවර්ජනය විණි.

“ඇත්තටම එදා ඒ පැණි වළල්ල කන කොටම මට ලොකු සැකයක්‌ ආවා. ඒවට මොනවා හරි දාලද දන්නේ නැහැ කියලා. කොහොම හරි කෑවට පස්‌සේ මාව ටිකක්‌ වෙනස්‌ වෙන්නත් ගත්තා. සමහර විට රටේ ඇති වූ වෙනසටත් ඒ පැණි වළල්ල බලපාන්න ඇති කියලා මට හිතෙනවා.”

ජනාධිපතිවරයා පැණි වළල්ලේ කතාව එසේ දිග හැරියේ අවට සිටි කිහිප දෙනාට සිනහවක්‌ද එකතු කරමිනි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට නැවත මවු රටට එන ලෙසට ආරාධනා කිරීමටද ජනාධිපතිවරයා එහිදී අමතක නොකළේය.

ජපානයට සමුදුන් ජනපති යළි දිවයින ට පැමිණියේ සිතුවාටත් වඩා ප්‍රතිඵල උදා කර ගනිමිනි. තම නිරහංකාර, සරල, චාම් ගති පැවතුම් ලෝකයට ගෙන ගිය රාජ්‍ය නායකයා ඒ හේතුවෙන්ම රාජ්‍ය නායකයන් සැමගේ ගෞරවයටත් ආදරයටත් ලක්‌ විය. සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන් තමන්ටම වෙන් කර ගත් ගුවන් යානාවලින් පැමිණ දින ගණන් ඒවා ජපානයේ තබාගෙන ආපසු යද්දී ජනාධිපතිවරයා ගුවන් යානා එන යන වෙලාව අනුව තම ගමන් කාලසටහන සකස්‌ කර ගත්තේය.

ඇතැම් රාජ්‍ය නායකයෝ තමන්ට හිමි ගුවන් යානා වලින්ම ඒ සඳහා පැමිණ සිටියහ. රාජ්‍ය නායකයන්ට හිමි වරප්‍රසාද ද ඔහු වරෙක පසෙක තැබුවේ තම නිර්ව්‍යාජත්වය ලොවට පෙන්වමිනි. සකේ වෙනුවට ලයිම් ජූස්‌ද, රසමසවුළු වෙනුවට කිරිබත්, බතල, ලුණු මිරිස්‌ද අති විශාල නඩයක්‌ වෙනුවට ඇමැතිවරු කිහිප දෙනෙක්‌ ඇතුළු ඉතා ස්‌වල්ප පිරිසක්‌ මෙම සංචාරයට එකතු කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

එහිදී පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලදී ජනාධිපතිවරයා දැක්‌ වූ අදහස්‌ ද එම රාජ්‍ය නායකයන්ගේ පැසසුමට ලක්‌ විය. විශේෂයෙන් ඇමෙරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා, ජපාන අගමැති ෂින්ෂෝ අබේ යන දැවැන්තයන් සමඟ පමණක්‌ නොව බංග්ලාදේශ අගමැතිනි ෂික්‌ හසීනා, වියට්‌නාම අගමැති ගුවෙන් සුආන් යන අය සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා අමතක නොකළේය.

මෙසේ ලොව සියලු රටවල් සමගම සමානව මැදහත්ව ගෙන යන විදේශ ප්‍රතිපත්තියක්‌ තමන් අනුගමනය කරන බව ලෝකය හමුවේ යළි යළිත් පසක්‌ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේය. එකල අප නිසා බෙදුණු ලෝකය යළි අප නිසා එකතු වෙමින් සිටින්නේය. චීනය සහ ජපානය එකට එකතු වී අපේ රටේ මංමාවත් ඉදිකිරීමට ආධාර දක්‌වන්නට කැමැත්තෙන් සිටින්නේය. රටේ ඇති වූ සංහිඳියාව දැන් ලෝකය පුරාද ඇති වෙමින් තිබෙන්නේය. ජනපතිගේ මේ විදෙස්‌ දැක්‌ම නිසා හතුරු රාජ්‍ය නැති මිතුරු රාජ්‍යයන්ගෙන් පිරුණු රටක්‌ බවට මේ දිවයින ද දැන් පත් වෙමින් තිබෙන්නේය.   කුෂාන් සුබසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles