යුක්රේනය මුල් කරගෙන අද යුරෝපයේ ඇති වෙලා තිබෙන යුද උණුසුමේ සැබෑ ස්වරූපය, යුක්රේනය මුල් කරගෙන ඇමරිකාවයි, රුසියාවයි යුද ප්‍රකාශ කරගනියි ද?
යුක්‍රේනය කියන්නේ රුසියාවත්, යුරෝපා සංගමයත් අතර පිහිටි විශාල රටක්. රුසියාව මේ තරම් යුක්‍රේනයට අත පොවන්නේ හේතු දෙකක් නිසා. එකක් උපාය මාර්ගික වැදගත්කම. අනෙක යුක්‍රේනය සමඟ තිබෙන දේශසීමා අර්බුදය.
කළු මුහුදේ තිබෙන යුක්‍රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය 2014දී පුටින් විසින් රුසියාවට ඈඳා ගත්තා. නැඟෙනහිර යුක්‍රේනයේ රුසියාවට මායිම් වෙලා තිබෙන ඩොන්ට්ස්ක් සහ ලුහාන්ස්ක් නමැති පළාත් දෙකත් අවුරුදු අටක් තිස්සේ අනියම් විදියට පාලනය කරන්නේ රුසියාව. මේ පළාත් දෙක එකට ගත්තාම ඩොන්බාස් ප්‍රාන්තය ලෙස හඳුන්වනවා. මේ ප්‍රදේශයේ වැඩි භූමි ප්‍රමාණයක් පාලනය කරන්නේ යුක්‍රේන ආණ්ඩුව නොවෙයි. රුසියා ආධාර ලබන කැරලිකරුවන්. මේ ඩොන්බාස් කලාපයේ හා ක්‍රිමියා අර්ධද්වීපයේ ජීවත් වෙන බහුතරය රුසියන් භාෂාව කතා කරන රුසියා සම්භවයක් සහිත අය. ඒ නිසා ඔවුන්ගේ වැඩි නැඹුරුව තියෙන්නේ රුසියාවත් එක්ක සිටීමටයි.
යුක්‍රේනය බොහෝ කාලයක් සෝවියට් දේශයට අයත් සමූහාණ්ඩුවක් විදියට මොස්කව්හි කොමියුනිස්ට් පාලනය යටතේ පැවතුණා. 1991දී සෝවියට් සංගමයේ බිඳ වැටීමත් එක්ක සෝවියට් සමූහාණ්ඩු 15ම සීසීකඩ වෙලා වෙන් වුණා. යුක්‍රේනයත් ඒ අනුව ස්වාධීන රටක් බවට පත් වුණා. ඒත් එක්කම යුක්‍රේන මනාලියට අමෙරිකාව ප්‍රමුඛ බටහිර ඇඹලයන්ගේ ඇල්ම බැල්ම වැටුණා. ඒත් රුසියාව සමඟ තිබුණු සමාජ, සංස්කෘතික බැඳීම්වලින් ලේසියෙන් ගැලවෙන්න යුක්‍රේනයට පුළුවන් වුණේ නැහැ.
සෝවියට් යුගයේදී වඩාත්ම කාර්මීකරණයට ලක් වූ සමූහාණ්ඩුව යුක්‍රේනය. රතු හමුදාවට අවශ්‍ය බොහෝ අවි ආයුධ නිෂ්පාදනය කළේ යුක්‍රේන කම්හල්වල. සෝවියට් කොමියුනිස්ට් පාලනයේ වගකිව යුතු නායකයනුත් බොහොමයක් යුක්‍රේනයෙන් බිහි වුණා.
රුසියා බලය
සෝවියට් දේශය ලෝක ගෝලයෙන් අතුරුදන් වීමත් එක්ක ඒ පැරැණි රතු අධිරාජ්‍යයාගේ අනුප්‍රාප්තිකයාගේ චරිතය නිරායාසයෙන්ම රුසියාවට හිමි වුණා. ගොර්බචොව්ගෙන් රුසියා බලය උදුරා ගත්තේ බොරිස් යෙල්ට්සින්. යෙල්ට්සින්ගෙ යුගයේදී රුසියාවත් එක්ක බටහිරට තිබුණ බල අරගලය සමනය වුණා. ඔහු උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙක්. 1991දී දසක හතක සීතල යුද්ධයත් නිමා වුණා. පැරැණි සෝවියට් සමූහාණ්ඩු සියල්ලටම අලුත් රටවල් විදියට අලුතින් නැඟී සිටින්නට සිදු වුණා.
මුල් යුගයේදී යුක්‍රේනය තුළ රුසියා හිතවාදීන් හා බටහිරවාදීන් විදියට කැපී පෙනෙන වෙනසක් තිබුණෙ නෑ. රතු යකඩ තිරයෙන් වැසී තිබුණු නැඟෙනහිර යුරෝපය පුරාම ධනවාදයේ හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ නැවුම් ආස්වාදය පැතිරෙමින් තිබුණා. හැමෝටම උවමනා වුණේ වෙනසක්. ඒත් වසර 2000දී කවුරුත් නොහිතපු වෙලාවක රුසියාව පුටින්ගේ භාරයට පත් කරපු යෙල්ට්සින් යන්න ගියා. පැරැණි කොමියුනිස්ට් අධිරාජ්‍යයේ KGB බුද්ධි නිලධාරියකු වූ පූටින් රුසියා ජාතිකවාදය මතින් මහා බලයක් ගොඩනඟා ගත්තා. බටහිරට අභියෝග කළ හැකි ලෙස රුසියාව නැවතත් යුදමය වශයෙන් බලගන්වන්න පූටින්ට හැකි වුණා.
වර්තමාන අර්බුදය තේරුම් ගන්න නම්, 2010 ඉඳන් යුක්‍රේනයේ දේශපාලනය ගැන අදහසක් තිබීම ප්‍රමාණවත්. ඒ කාලය වන විට යුක්‍රේනයේ දේශපාලන පක්ෂ ප්‍රධාන වශයෙන් කඳවුරු තුනකට අයිති වුණා. 2010 ඉඳන් මේ දක්වා යුක්‍රේනයේ ජනාධිපතිවරු තුන් දෙනෙක් හිටියා. මේ තුන් දෙනාගේ දේශපාලන මතවාද එකිනෙකාට වෙනස්.
එක් කඳවුරක් තනිකර රුසියාන්වාදි, පැරැණි සෝවියට් සංස්කෘතිය අගයන පිරිසගෙන් සමන්විතයි. ඔවුන් තනි යුරෝපයක් සඳහා වන යුරෝපා සංගමයට විරුද්ධයි. ලිබරල් ලක්ෂණ අඩුයි.
දෙවැනි කඳවුර බටහිරවාදී රුසියාන් විරෝධී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් සමන්විතයි. ඔවුන් යුරෝපා සංගමයට හා නේටෝවට (NATO) පක්ෂයි.
ප්‍රධාන වශයෙන් පවතින මේ කඳවුරු දෙකට අමතරව මධ්‍යස්ථ මතධාරී කලාපීය හා දේශීය මතවාදයෙන් පෝෂණය වූ නව කඳවුරක් දැන් ඉස්මතුවෙලා තිබෙනවා.
1991 සෝවියට් දේශයෙන් වෙන් වුණාට පසුව යුක්‍රේනයට රුසියාව සමඟ විසඳා ගැනීමට ප්‍රශ්න රාශියක් ඉතිරි වුණා. වඩා වැදගත්ම ගැටලුව වුණේ එතෙක් කළු මුහුදේ ස්ථාපිත කර තිබු සෝවියට් නාවුක බලය බෙදා ගන්නා ආකාරය ගැන. ඒ අනුව යුක්‍රේනය කළු මුහුදේ තිබෙන වරායවල් රුසියාවට භාවිත කිරීමට ඉඩ දීමට ගිවිසුම් ගත වුණා. සෙමස්ටපෝල් නාවුක කඳවුරත් ඒ අනුව රුසියාව බදු ගත්තා. මේ කඳවුර යුක්‍රේනයටත් වැදගත් නිසා, ඔවුන් සිටියේ මේ බදු කාලය හමාර වෙනකම්. එහෙම තත්ත්වයක් තුළ තමයි යැන්කොවිච් විසින් සෙමස්ටපෝල් කඳවුර තවත් අවුරුදු 25කට බදු දෙන්නේ. මේ ගිවිසුම අස්සන් කිරීම නිසා යුක්‍රේන ජනතාව ජනාධිපතිවරයාගෙන් ඈත් වුණා. ලාභ ගෑස්වලට කෑදරකමේ ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියාවට ඕනෑ සෙල්ලමක් දාන්න ඉඩ දීම ගැන බහුතර යුක්‍රේනියානුවන් පරල වුණා.
ඒ වන විට තනි ලෝක බලවතා ලෙස ඉස්මතු වෙලා හිටපු අමෙරිකාවත් යුක්‍රේනයේ සිදු වන දේ ගැන ඇහැ ගහගෙනයි හිටියේ. යුක්‍රේනය සෝවියට් සංගමයෙන් ඉවත් වූ වහාම අමෙරිකාව එය ස්වාධීන රටක් විදියට පිළිගත්තා. ඒ වෙනකොටත් පැරැණි සෝවියට් දේශයට අයත් න්‍යෂ්ටික අවිවලින් සෑහෙන ප්‍රමාණයක් තිබුණේ යුක්‍රේනය තුළ. ඒ නිසා කල් නොයවා ගනුදෙනු විසඳා ගන්න අමෙරිකාවට වුවමනා වුණා. ඒ වෙනකොට අමෙරිකාවේ ජනාධිපති වුණේ බිල් ක්ලින්ටන්. රුසියාව තිබුණේ යෙල්ට්සින්ගේ පාලනය යටතේ. යෙල්ට්සින් කියන්නේ සුපිරි ධනවාදියෙක්. අඩියක් පුඩියක් ගහලා සැපේ ඉන්න තමයි උන්නැහේට වුවමනා වෙලා තිබුණේ. මේ දෙගොල්ලො ඒ දිනවල හරි හරියට නෑදෑ ගමන් ගියා. කොහොම හරි යුක්‍රේනයේ තිබුණ සෝවියට් න්‍යෂ්ටික අවි විනාශ කරන්න රුසියාවත්, යුක්‍රේනයත් එකඟ කරවා ගන්න ක්ලින්ටන් මහත්තයට පුළුවන් වුණා. ඒ 1994දී.
න්‍යෂ්ටික අවි නිෂ්පාදනය
යුක්‍රේනය 1986දී සිදුවූ චර්නොබිල් න්‍යෂ්ටික අනතුර නිසා, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය හේතුවෙන් ප්‍රශ්නවලට මුහුණ දීලා හිටියේ. චර්නොබිල් නගරය පිහිටියේ උතුරුදිග යුක්‍රේනයේ. අනතුර වෙලාවෙ වාද භේද ඉවත දමලා අමෙරිකාවත්, සෝවියට් දේශයේ පිළිසරණයට ආවා. ඒ නිසා පශ්චාත් සෝවියට් සමයේ න්‍යෂ්ටික අවි ගැන කතා කරන්න පැමිණි අමෙරිකාව ගැන ඒ තරම් අමුත්තක් යුක්‍රේනයට දැනුණෙ නෑ. 1997දි යුක්‍රේනය එක්ක න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමක් අස්සන් කරන්නත් අමෙරිකාවට හැකි වුණා.
ඒත් එක්කම යුක්‍රේනය කෙමෙන් කෙමෙන් බටහිරටම ඇදී ගියා. නේටෝ – යුක්‍රේන සම්බන්ධතා වර්ධනය වුණා. අමෙරිකාවේ සහයෝගයට ඉරාකයට හමුදා යවන්නත් යුක්‍රේනය කටයුතු කළා.
යැන්කොවිච්ගේ පැමිණීමත් එක්ක යුක්‍රේනය ආපසු රුසියාව පැත්තට නැඹුරු වුණා. රුසියන් සහන නිසා ආර්ථිකය ඉදිරියට ගන්නත් යැන්කොවිච්ට හැකි වුණා. ඔහු තමන්ට කැමති කාලයක් ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කර ගත්තා. ඒ වෙනකොට පුටින් ඒ විදියටම ව්‍යවස්ථාව වෙනස් කරගෙන තිබුණෙ. ඒ නිසා යැන්කොවිච් රුසියන් ක්‍රමය අනුගමනය කරන බවට ජනතා විරෝධයක් මතු වුණා. ඒත් එක්කම පවුලේ අයට තනතුරු දීමත්, මහජන මුදල් මංකොල්ලයත් නිසා මිනිස්සුන්ට යැන්කොවිච් එපා වුණා. පසුව පොරසෙන්කෝ, යුක්‍රේන ජනාධිපති ධුරයට පත් වුණා. ඔහු දැඩි රුසියන් විරෝධියෙක් වගේම බටහිරවාදියෙක්.
ඒත් එක්කම පූටින් ක්‍රියාත්මක වුණා. ඔහු ලෙහෙසියෙන්ම ක්‍රිමියා අර්ධද්වීපයට හමුදා යවලා, එහි පාර්ලිමේන්තුව අල්ල ගත්තා. ඉන් පසුව රුසියන් හිතවාදී පාලනයක් ක්‍රිමියාවේ ස්ථාපිත කළා. නේටෝ රටවල් හා අමෙරිකාව මොන තර්ජන කළත් පුටින් ඒවා මායිම් කළේ නැහැ. ඒ වගේම නැඟෙනහිර යුක්‍රේනයේ සිටින රුසියන් ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රසිද්ධියේම කිවුවා. රුසියන් හිතවාදී දේශපාලන කණ්ඩායම්වලට අවිආයුධ යැවුවා. ක්‍රිමියාවට අමතරව ඩොන්බාස් ප්‍රාන්තයත් මේ අනුව යුක්‍රේනයේ පාලනයෙන් ගිලිහුණා. අදටත් ඩොන්බාස්හි වැඩි කොටසක් පාලනය කරන්නේ බෙදුම්වාදීන්.
ඩොන්බාස් බෙදුම්වාදීන්
රුසියන් සහාය ලබන ඩොන්බාස් බෙදුම්වාදීන් තමයි දැනට ලෝකයේ සිටින ප්‍රබලම කැරලිකරුවන්. ඩොන්බාස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් තිබෙනවා.මේ දෙකම අල්ලාගෙන සිටින්නේ ඔවුන්.
යුක්‍රේන හමුදාවට නැති නවීන ගුවන් ප්‍රහාරක මිසයිල පවා ඩොන්බාස් කැරළිකරුවන් සතුව තිබුණා. කැරළිකරුවන් හිතේ හැටියට යුක්‍රේන ගුවන් හමුදා යානා බිම දැම්මේ ඒ ගැම්ම නිසයි. මේ දරුණු ගැටුම්වලින් යුරෝපාකරයම හෙල්ලී ගියා. ඒ නිසාම ප්‍රංස හා ජර්මාන් නායකයන් ප්‍රශ්නයට මැදිහත් වුණා. ගැටුම් අවසන් කිරීමට 2014 ජූලි මාසයේදී බෙලොරුසියාවේ මින්ස්ක් නුවරදී රුසියාව හා යුක්‍රේනය අතර මින්ස්ක් සාම ගිවිසුමක් අස්සන් කළේ ඒ අනුවයි. ගිවිසුම අස්සන් කර දින කිහිපයක් යද්දීම නැවතත් ගැටුම් වාර්තා වුණා. ඒ නිසා 2015 ජනවාරි මාසයේදී රුසියාව, යුක්‍රේනය, ප්‍රංසය හා ජර්මනිය යන රටවල් හතරේ නායකයන් ආපසු මින්ස්ක් නුවරට රැස්වෙලා අලුත් ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම හැඳින්වෙන්නේ Minsk 2 යනුවෙන්. ඒත් ඒ ගිවිසුම් අසාර්ථක වෙන්න හේතු කීපයක්ම බලපෑවා. යුක්‍රේනයට සටන් නවත්වා ගන්න වගේම යුක්‍රේන භූමියෙන් රුසියන් බරඅවි ඉවත් කර ගන්නත් වුවමනා වුණා. ඒ වගේම සටන් පවතින ප්‍රදේශවල සම්පූර්ණයෙන් රජයේ පාලනය ස්ථාපිත කරන්නත් වුවමනා වුණා.
රුසියාවට වුවමනා වුණේ ඩොන්බාස් ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතිනවා දකින්න. හේතුව බහුතරය රුසියාවට පක්ෂපාතී වීම. රුසියාව කිසිසේත්ම ක්‍රිමියාව හා ඩොන්බාස් අත නොහරින බව දැන් පැහැදිලියි. කවදා හෝ යුක්‍රේනය ස්ථාවර රාජ්‍යයක් වුවහොත් ඔවුන් තමන්ගේ බලපරාක්‍රමය පාවිච්චි කර යුරෝපා සංගමයට තමන්ගේ අභිලාෂ ඉදිරිපත් කරන බව රුසියාව දන්නවා. යුක්‍රේනයේ ගැටුම් පවතින තාක් යුරෝපා සංගමය යුක්‍රේනය සමඟ ඇති කර ගන්නා සහයෝගිතා ගිවිසුම් සාර්ථක නොවෙන බවත් රුසියාව දන්නවා. මේ අනුව ඩොන්බාස්හි ස්වාධීනත්වය ගැන එකඟතාවකට එන්න මේ රටවල් දෙකට බැරි වෙයි.
අවුල විසඳීම
වර්තමාන යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මධ්‍යස්ථව හිතන නායකයෙක්. ඔහු බොහෝ කල්පනාකාරීව මේ අවුල විසඳ ගන්න හදන්නේ. ඔහු අලුත්ම ගිවිසුමකට එකඟ වුණා. මේ ගිවිසුම හඳුන්වන්නේ Steinmeire Formula නමින්. මෙයට අනුව ඩොන්බාස් පළාතට ජනමත විචාරණයකින් පසුව ස්වයං පාලනයක් ලබා දීමට යුක්‍රේනය එකඟයි. එහි ප්‍රතිඵලය කුමක් වුවත් යුරෝපා සංගමයත් එය පිළිගත යුතුයි. ඒ සඳහා ඩොන්බාස් තුළ සම්පූර්ණ සටන් විරාමයක් පැවතිය යුතු බවට යුක්‍රේනය කොන්දේසි ඉදිරිපත් කරනවා. ඒ වගේම සියලුම රුසියන් හමුදා හා අවිආයුධ ඉවත් කර ගත යුතු බව. මූලිකව ගත්තොත් මේ ජනමත විචාරණයට කලින් නැඟෙනහිර දේශසීමාවේ සම්පූර්ණ පාලනය තමන් සතු කර ගන්න යුක්‍රේනයට අවශ්‍යයි. යුක්‍රේන පාලනය යටතේ මේ ජනමත විචාරණය පැවැත්වුවොත් තමන්ට වාසි සහගත විදියට එය කරන්න පුළුවන් කියලා සෙලෙන්ස්කි හිතනවා.
රුසියාව කියන්නේ මැතිවරණය හා ස්වයං පාලන තීරණය පළමුව අරගෙන, ඉතිරිය ඊට පස්සෙ බලාගමු කියලා. යුක්‍රේනය ඒ අවදානම ගන්න කැමැති නෑ. බැරි වෙලාවත් ඩොන්බාස් වෙත ස්වයං පාලන බලතල හිමි වුණොත්, ඒ ප්‍රාන්තයේ සිට මුළු යුක්‍රේනයම අස්ථාවර කරන්න පුළුවන් බව සෙලෙන්ස්කි දන්නවා. රුසියාව ඩොන්බාස් කැරලිකරුවන් ඔස්සේ සමස්ත යුරෝපයටම දැනට කරන බලපෑම ස්වයං පාලනයක් යටතේ ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්. ඒ අනුව Steinmeire Formula සැලැස්මත් අසාර්ථකයි. යුක්‍රේනය දැන් තියෙන්නේ ගිනි ගොඩක් උඩ. රුසියන් බලපෑමෙන් මිදෙන්න ඔවුන් නේටෝවේ සහාය බලාපොරොත්තු වෙන්නේ ඒ නිසයි.
නේටෝව තවමත් යුක්‍රේනය වෙනුවෙන් සහයට පැමිණ නෑ. ඒත් පෝලන්තයටත්, එස්තෝනියා, ලිතුවේනියා, ලැට්වියා යන බෝල්ටික් රටවලටත් තමන්ගෙ හමුදා යවන්න නේටෝව කටයුතු කළා. ඒ රටවල් සියල්ල නේටෝවට අයිති නිසා, ඒවා රුසියන් බලපෑමෙන් මුදා ගන්න නේටෝ සංවිධානයට වගකීමක් පැවරෙනවා. ඒත් යුක්‍රේනය කියන්නේ තවම NATO සහාය ලබන රටක් විතරයි. තවම ඔවුන්ට NATO සාමාජිකත්වය ලබා දී නැහැ.
ඒත් ඇමෙරිකාවේ වුවමනාව මත තවත් NATO රටවල් හතක් සමඟ එකතු වී මහා පරිමාණයේ ගුවන් හමුදා අභ්‍යාසයක් කරන්න යුක්‍රේනය කටයුතු කළා. ඒ අභ්‍යාසය පැවතියේ 2018 දී බටහිර යුක්‍රේනය තුළ. ඒ අභ්‍යාසය පුටින්ට එතරම් දිරවලා ගියේ නැහැ. පැරැණි සෝවියට් සංගමයට අයත් රටවල කරන ඕනෑම අමෙරිකා හමුදා මැදිහත්වීමක් පුටින්ට වහකදුරු වගේ. ඒත් NATO සාමාජිත්වය නැති යුක්‍රේනයට කෙළින්ම අතදාන්න අමෙරිකාවට බැහැ. ඒකට යුරෝපයේ NATO රටවල් කැමැතිත් නැහැ. ඒ නිසා යුක්‍රේනය රුසියාවට එරෙහිව යනවා නම් අනිවාර්යයෙන් NATO හමුදා බලය ඔවුන්ට වුවමනා බව පැහැදිලියි.
NATO සාමාජිකත්වය
යුක්‍රේනයට තවම NATO සාමාජිකත්වය ලබා දී නැත්තේ ඇයි? පවතින දේශපාලන වාතාවරණය උඩ බහුතර යුක්‍රේනුවානුවන් යුරෝපයත් එක්ක එකතු වෙන්න කැමැතියි. අමෙරිකාව හරි යුරෝපය හරි දෙන ඕනෑම උදව්වක් ගන්නත් යුක්‍රේන වැසියන් සැදී පැහැදී ඉන්නවා. යුක්‍රේනයට තවම NATO සාමාජිකත්වය හෝ අඩු ගණනේ යුරෝපා සංගම් සාමාජිකත්වයවත් නැත්තේ ඇයි? යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුම් අස්සන් කළත් යුක්‍රේනය තමන්ගෙ ගොඩට ගන්න යුරෝපා සංගමය මැළි වෙන්නේ ඇයි?
ඒකට මූලික හේතුව රුසියාවයි. සීතල යුද්ධය හමාරයි කිවුවට ඒක අදාළ වෙන්නෙ අමෙරිකාව හෝ රුසියාව වේදිකාවට ගොඩ වෙනකම් විතරයි. යුක්‍රේනයට NATO සාමාජිකත්වය ලබා දුන්නොත් තමන්ගේ හමුදා යුක්‍රේන දේශ සීමාවේ රුසියාවට එරෙහිව රඳවන්න නේටෝවට සිදු වෙනවා. යුරෝපා සංගමයත්, අමෙරිකාවත් කිසි දිනෙක බළලාගේ කරේ ගෙජ්ජි එල්ලන්න යන්නෙ නෑ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධ ඇති වෙනවාට කවුරුත් කැමැති නැහැ. යුරොපාකරයේ ස්ථාවරත්වයේ ආර්ථික වාසිය ගන්න ප්‍රංශය, ජර්මනිය හා ඉතාලිය වගේ යුරෝපා නායකයන් කැමැති වෙන්නෙ නැහැ.
අනෙක් කරුණ යුරෝපා සංගමයේ සාමාජිකත්වය යුක්‍රේනයට ලබා දුන්නොත්, යුරෝපයේ දැඩි සංක්‍රමණික ප්‍රශ්නයක් ඇති වෙනවා.
දැනටමත් යුක්‍රේනයට රුසියන් හමුදා ඇතුළු වෙලා ඉවරයි. යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දුන්නොත් අමෙරිකාවටවත්, යුරෝපයටවත් ඇහැ කණ පියාගෙන ඉන්න බැහැ. පුටින් එක්ක යුද්ධයකට යන්නම වෙනවා. ඇෆ්ගනිස්තානයේ තලේබාන්ලා එක්ක හැප්පුණා වගේ රුසියානුවන් එක්ක හැප්පෙන්න බැරි බව අමෙරිකා උපාය මාර්ගිකයන් දන්නවා. අමෙරිකාව එවැනි අවදානමක් ගන්නේ කවුරු වෙනුවෙන් ද? යුක්‍රේන ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියන තර්කයක් ගේන්නත් මෙතැනදි බැහැ. රුසියාවෙන් කියන්නේ ඩොන්බාස් ප්‍රාන්තයේ ඡන්දය තියලා මිනිස්සුන්ට කැමැති තීරණයක් ගන්න කියන එක. ඡන්දය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේම අංගයක්. අනෙක් අතට රුසියාවට විරුද්ධව යුද්ධයකට යන්න සියලුම NATO රටවල් එකඟ කර ගැනීමත් ලේසි නැහැ. ඒ නිසා යුක්‍රේනයට NATO සාමාජිකත්වය හෝ EU සාමාජිකත්වය ලබා දෙන එක බටහිර බලවතුන් වුවමනාවෙන්ම මඟහරින බව පේනවා.
ස්වයං පාලනය
ඩොන්බාස් පළාතේ ස්වයං පාලනය ගැන රුසියාවත්, යුක්‍රේනයත් අතර එකඟතාවක් ඇති වෙන්න ඉඩකුත් නැහැ. කවුරුත් අඩියක් පස්සට ගන්න කැමැති නැහැ. රුසියාව කොහොමත් ඒක කරන්නෙ නෑ. පූටින් ටිකින් ටික පැරැණි සෝවියට් බලය සොයාගෙන යනවා. යුක්‍රේන නායකයා පස්සට ගියොත් ඔහුට වෙන්නෙත් යැංකොවිච්ට වගේ පලා යන්න. රුසියාවට වාසිසහගත තීරණයක් ගත්තොත් මහා සිවිල් විරෝධයක් එන බව ඇත්ත. එහෙම වුණොත් විකට නළුවාගෙන් වාඩුව ගන්න Euromaiden ව්‍යාපාරයක් ආයෙමත් ගොඩනැගෙන්න ඉඩ තියෙනවා.
රුසියාවට එරෙහි යුද්ධයකදී අනිවාර්යයෙන්ම චීනයත් ඒකට පැටළෙන බව පෙනෙන්න තිබෙනවා. ලී ක්වාන් යූ කිවුවා වගේ චීනය දැම්මම යුද්ධවල පැටලෙන්න සූදානම් නැහැ. චීන්නු යන්නේ 2030 වෙන විට ලෝක ආර්ථික බලවතා වීමේ ගමනක. තවමත් අමෙරිකාවත් එක්ක යුද්ධයක පැටලෙන්න අපහසු බව ඔවුන් දන්නවා. ඒත් රුසියන් – අමෙරිකා ගැටුමකදී චීනයට මඟ හරින්න බැහැ.
පූටින් මේ සියලුම කාරණා හොඳින් අධ්‍යයනය කර ඇති බව පේනවා. ඒ නිසා යුක්‍රේනය තුළ බටහිර බලපෑම් තිබෙන තාක් පූටින් යුක්‍රේනයේ බෙල්ල අතහරින්න සූදනම් නැහැ. ඒ නිසා යුරෝපයේ බලවතුන් සෑම විටම හිතන්නේ යුක්‍රේනය තුළ රුසියන් අතපෙවීම් සමනය කිරීමක් ගැන මිසක්, රුසියාව මුළුමනින්ම එයින් පන්නා දැමීමක් ගැන නොවෙයි.
මුළු යුරෝපයටම බලශක්තිය සපයන ප්‍රධාන මූලය තියෙන්නේ රුසියාවේ. බලශක්ති අර්බුදයක් ඇති වුණොත් යුරෝපා ආර්ථිකයට පැවැත්මක් නෑ. රුසියාවත් තමන්ගේ ස්වාභාවික ගෑස්වලට ඇති යුරෝපා මාකට් එක නැති කර ගන්න කැමැත්තක් නැහැ.
දැනට යුක්‍රේනයටත් ස්වාභාවික ගෑස් සපයන්නේ රුසියාව. යුරෝපයේ අනිකුත් රටවලට ගෑස් සපයන නළ මාර්ග දැනට වැටී ඇත්තෙත් යුක්‍රේන භූමිය හරහා.
ඒ නිසා යුක්‍රේන දේශ සීමාවේ රුසියන් හමුදා බලය වැඩි කිරීම ගැන යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඒ තරම් කලබල වෙලා නැහැ. අද හෙට පූටින්ගේ හමුදා යුක්‍රේනය අල්ලා ගන්නා බවට වූ බටහිර මාධ්‍ය වාර්තාවලින් තමන්ගේ රට අස්ථාවර කරන බව සෙලෙන්ස්කි මහත්තයා බටහිරට චෝදනා කරනවා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළොත් යුරෝපයේ ගෑස් මිල අහස උසට යනවා. යුරෝපයේ ප්‍රධාන කර්මාන්ත ව්‍යාපාර රඳාපවතින්නේ රුසියාවේ ගෑස් මත. ගෑස් මිල අසීමිතව වැඩි වුණොත්, ඒ හේතුවෙන්ම යුරෝපයේ කාර්මික වෙළඳපොළ කඩාගෙන වැටෙනවා. ඒත් එක්කම යුරෝපයේ මූල්‍ය වෙළෙඳපොළත් ඇද වැටෙනවා. ඉන් පසුව විදේශ ආයෝජකයන් යුරෝපයෙන් ඉවත් වෙනවා. එහෙම වුණොත් එය යුරෝපා ආර්ථිකය ඉතාමත් නරක විදියට බලපානවා.
ගැටුමේ පාර්ශ්වකරුවන්
ප්‍රංසය, ජර්මනිය, ක්‍රොඒෂියාව මේ ගැටුමේ පාර්ශ්වකරුවන් වෙන්න අකමැති ඒ නිසයි. අමෙරිකාව ඇඟට ගත්ත තරම් බරකට ඔවුන් මේ ප්‍රශ්නය කරට ගන්නෙ නෑ. ඇමෙරිකාව යුක්‍රේනයට හමුදා ආධාර යැවුවත්, ජර්මනිය යැව්වේ වෛද්‍යාධාර විතරයි.
දැනටත් නැගෙනහිර යුක්‍රේනයේ ඇත්ත බලය තියෙන්නේ පුටින් අතේ. අවුරුදු අටක් තිස්සේ ක්‍රිමියාවත්, ඩොන්බාස් ප්‍රාන්තයත් තිරය පිටුපස සිට මෙහෙවන්නේ පුටින්. ඔහු මේ කරන්නේ යුක්‍රේනයට අත දාන්න එපා කියලා අමෙරිකාවටයි, යුරෝපයටයි කරන අනතුරු හැඟවීමක්. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි වුණත් දන්නවා යුරෝපයේ තමන්ට ඇත්ත මිතුරන් නැති බව. ඔහුගේ ඉවසීම යුක්‍රේන උපදේශකයන් විසින් හඳුන්වන්නේ Olimpian calm නමින්. එයින් කියවෙන්නේ, හෝමර්ගෙ ඉලියඩ් හා ඔඩිසි කාව්‍යයේ එන ඔලිම්පස් දෙවියන්ගේ වගේ ඉවසීමක් ගැනයි.
මේ අර්බුදයෙන් යුරෝපය බේරා ගැනීමේ ගැලවුම්කරුවාගේ භූමිකාවට පණ පොවන්නේ ප්‍රංස ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන්. යුද්ධයට වඩා සාමය කෙතරම් වැදගත් ද? යන්න මැක්‍රෝන් දන්නවා. පුටිනුත් ඒක නොදන්නවා නොවේ. ඒ නිසා යුක්‍රේනය ආක්‍රමණය කිරීමට තරම් භූ දේශපාලන ඉඩක් වර්තමාන ගෝලීය දේශපාලනය තුළ රුසියාවට ලැබී නැති බව පැහැදිලියි. පුටින් යුක්‍රේනය අල්ලලා බටහිරට පාඩම් උගන්වන හැටි ගැන පුල පුලා බලා ඉන්න අයට කියන්න තියෙන්නේ, ඇඟේ හයියට ප්‍රශ්න විසඳගන්න මහ බලවතුන්ටත් බැරි නම්, අප ගැන කවර කතාද? මෙවැනි ගැටුම් සමථයකට පත් කරන්න උපාය මාර්ගික හා රාජ්‍යතාන්ත්‍රික දැනුම කොතරම් වැදගත් ද? යන්නයි.
චන්ද්‍රපාල ලියනගේ – දිනමිණ