Monday, January 13, 2025

ඩොලර් නැතිව බලාගාර දුවන්න තෙල් නැහැ – ඉදිරියේ නොදන්වා විදුලිය කපයි !

යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි. ඉන්ධන අර්බුදය මීට හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

ඩීසල් නොලැබීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 160ක් සපයන සපුගස්කන්ද තාප විදුලි බලාගාරය වසා දමා ඇති බව වාර්තා වේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හා සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද වසා දමා ඇති බවත් ඊට අවශ්‍ය ඩීසල් ලබාගන්නේ තෙල් සංස්ථාවෙන් වුවද ඩොලර් හිගය නිසා සංස්ථාවෙන් තෙල් ලබා නොදෙන හේතුව මත මෙම තත්වය බරපතල වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

එහි ප්‍රතිඵලයක් නුදුරේදීම විදුලි කප්පාදුවකට මුහුණ දීමටත් සමස්ත රටටම සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය.

පසුගිය දිනවල පැවති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් විදුලිය අඛණ්ඩව සැපයුව ද ජලාශවල රොන්මඩ පිරී ඇති නිසා තව දුරටත් ජල විදුලිය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවත් ඔහු පවසයි.

පිරිපහදු කළ ඉන්ධන මේ වනවිට භාවිතයට ගැනෙයි.පිරිපහදු කරන ලද ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ අවහිරතාවක් ඩොලර් අර්බුදය නිසා පැනනැගී ඇති අතර මේ නිසා තාප බලාගාරවල ඉන්ධන අර්බුදයක් මතුව ඇතැයි කියවේ. පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින කිහිපයක් සඳහා පමණක් බවයි ඔහු පවසන්නේ. මතුව ඇති ඉන්ධන අර්බුදයත් මත ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ඒ අනුව අනතුරු අඟවා ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ කාර්යබහුල වේලාවලදී විදුලි ඉල්ලු‍ම ඉහළ ගියහොත් පවතින තත්ත්වය මත විදුලි පද්ධතියේ බිඳ වැටීමක් සිදුවිය හැකි බවය.

ජතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 15.07ක් ඊයේ දිනයේදීත් ලබා දුන් ලංකා විදුලිබල මණ්ඩලයේ තාප බලාගාරවල පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින කීපයක් සඳහා පමණක් බව වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ සේවක සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ ඉදිරියේ දී ඇතිවන විදුලි කප්පාදුවට පිළියම් ලෙස ඉටිපන්දම් පොලිම් හැදෙන්නට පෙර අවශ්‍ය ඉටිපන්දම් ටික ගෙනත් තබා ගන්නා ලෙසය.

රන්ජන් ජයලාල් මෙසේ ද ප්‍රකාශ කළේය.

“ තව සති කීපයකින් ජල විදුලිය අර්බුදයකට යනවා. මාස හයකට ගල් අඟුරු ප්‍රමාණවත් බව රජය කියනවා. ගල් අඟුරු මාස හයකට ප්‍රමාණවත් වෙන්නේ ජලවිදුලියෙන් සහ තෙල් වලින් විදුලි උත්පාදනය අඛණ්ඩව කරගෙන යන්න පුලුවන්කමක් ලැබුණොත් පමණයි.

“දැනටමත් නොකියා පවර් කට් එකක් යනවා කියලා අප විශ්වාස කරනවා. දැනටමත් භූමි තෙල් හිඟයක් තියනවා. පවර් කට් එකක් ආවොත් බූමිතෙල් ගන්න තවත් පෝලිම් වැඩිවේවි. ඉක්මන් නොවුනොත් ඉටිපන්දම් හිඟයක් ඇතිවේවි. ඒ ගැන සැලකිලිමත් වෙන්න.”

කෙසේ වෙතත් නොරොච්චෝල බලාගාරයේ මෙගා වොට් 300 බැගින් වූ උත්පදන යන්ත‍්‍ර තුනක් තිබුණද ඩොලර් ප්‍රශ්නය මත ඒ පිළිබඳ විශ්වාසය තබා ගත නොහැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles