කසළ කළමනාකරණය පිළිබඳව ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝකාලයක සිට පවතින්නක් වුවද අද වන තුරුත් ඊට සාර්ථක පිළියමක් ලැබී නැත. එදා නගරබද ජන ජීවිතයට, පරිසරයට පමණක් තර්ජනයක් වූ කසළ දැන් ගමද ගිලගන්නා තැනට පැමිණ ඇත්තේ තමන්ට අකැප කුණු අනුන්ට කැප කරන්නට තරම් පහත් මානසිකත්වයක් ඇති පිරිස් එදාට වඩා අද වර්ධනය වී ඇති නිසාය. එහෙත් පරිසරයට අක්‍රමවත් ලෙස බැහැර කරනු ලබන අපද්‍රව්‍ය පාරාවළල්ලක් වී භයානක ප්‍රතිඵල සමඟ තමන් කරා ආපසු පැමිණෙන බව දන්නේ නම්, අපේ සමාජය මෙතරම් වැරදි නොකරනු ඇත. හිඟන්නාගේ වණය සේ නිමාවක් නොවන කුණු ප්‍රශ්නය තවදුරටත් ඔඩු දිවීමෙන් වළක්වාගැනීමට නම් ආකල්පමය වෙනසක් සමඟ, දැඩි නීති පැනවීමද සිදු කළ යුතුමය. ප්‍රශ්නය විසඳා එය තවදුරටත් රටට ප්‍රශ්නයක් කර නොගන්නා තැනට වැඩ සැලසීමේ වගකීමෙන් නිදහස් වන්නට අදාළ බලධාරීන්ට ඉඩක් නැත.
මේ පාරිසරික ගැටලුව ජාතික ප්‍රශ්නයක් ලෙස හඳුනාගනිමින් කසළහරණය කටයුතු සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් ඉතා කඩිනමින් සකසන ලෙස ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අදාළ අංශවලට උපදෙස් දී ඇත. මේ පිළිබඳව රටේ ඉහළම පුරවැසි අවධානය යොමු වීමද භාග්‍යයකි. ඒ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන්නට අදාළ නිලධාරීන් උත්සුක වන්නේ නම්, මහමඟට පිළිපන් මොහොතේ සිට ඇස ගැටෙන පණුවන්ගසා අපවිත්‍ර වූ, දුර්ගන්ධය මුසු කසළ ගොඩවල්, ජලය පිරී මදුරු ගහනයට රජදහනක් වූ ප්ලාස්ටික් බොතල්, පොලිතීන් ඇසුරුම් තවදුරටත් අපේ ඇස නොගැටෙනු ඇත. ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් විශේෂ ව්‍යාපෘති, මහානගර සහ බස්නාහිර සංවර්ධන, නීතිය, සාමය සහ බන්ධනාගාර පුනරුත්ථාපන, ඇතුළු අමාත්‍යාංශ රැසක් හා ආයතන එක් වී මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. එහිදී හඳුනාගැනුණේ කුණු කඳු ගොඩගැසීමේ ප්‍රධානතම හේතුව දිරාපත් වන හා දිරාපත් නොවන කසළ වෙන් කිරීමකින් තොරව එක් රැස් කිරීම වන බවයි. වෙන් වෙන් වශයෙන් කසළ රැස් කරන්නේ නම්, දිනකට කඳුගැසෙන කසළ ප්‍රමාණය සියයට 50-60කින් පමණ අවම කරගත හැකි බවද හඳුනාගැනිණි.
ඒ අනුව ලබන මස පළමු වැනිදා සිට ලංකාව පුරා සියලු මහානගර සභාවන්හි කසළ එක් රැස් කෙරෙන්නේ දිරන හා නොදිරන ලෙස වෙන් වශයෙනි. ඒ පිළිබඳව රාජය හා පෞද්ගලික ආයතන මෙන්ම මහජනතාවද සිය සහයෝගය ලබා දිය යුතුය. එමෙන්ම හිතුමතේ තැන් තැන්වල කසළ මුදාහරින්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කෙරෙනු ඇත. පොලිස් දෙපාර්තමේන්තුව ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙන අතර, සිවිල් ඇඳුමින් සැරසී නිරීක්ෂණය කිරීම් සිදු කරනු ඇත. එමෙන්ම පොදු ස්ථානයන්හි කසළ බැහැර කරන ඕනෑම පුද්ගලයකුට එරෙහි වන්නට මහ ජනතාවට පූර්ණ අයිතියක් ඇති අතර, එවැනි අය පිළිබඳ ඕනෑම අවස්ථාවක 119 දුරකථන අංකයට පැමිණිලි කළ හැකිය. එමෙන්ම යම් නිවෙසක සේවකයන් අවිධිමත් ලෙස කසළ මුදාහරිනවා නම්, ඊට එරෙහිව නඩු පැවරෙන්නේ සේවකයාට නොව, අදාළ ගෘහමූලිකයාටය. එමෙන්ම නිවෙසේ රැස් වන කසළ විධිමත් ලෙස මුදාහැරීමට නම්, අපේ සමාජයෙහි ආකල්පමය වෙනසක් ඇති කිරීම අනිවාර්යය. මේ නිසා පාසල් මට්ටමින් දරුවන් කෙරෙහි පරිසරය පිළිබඳ ආදරයක් මෙන්ම එහි පිරිසිදු බව විනාශ කිරීමේ අයිතිය මිනිස් සමාජයට නොවන බවට ප්‍රබල හැඟීමක් ළමා මනසෙහි ඇති කිරීමටද කටයුතු කෙරෙනු ඇත. එවිට දරුවන් වෙතින් ඒ පණිවිඩය නිවෙසට යනු ඇත. මේ සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියේදීම දරුවන්ට යම් මඟ පෙන්වීමක් ගුරු භවතුන් අතින්ද ඉටු වන අතර, එය තවදුරටත් ප්‍රායෝගික වන්නේ නම් එය අධයාපනය සේ ම දරුවන්ගේ අනාගතයට ආයෝජනයක් වනු ඇත.
සෞඛ්‍යයට කොතරම් අහිතකර වුවද දිනපතා මහා පරිමාණයෙන් පරිහරණය කර පරිසරයට මුදාහරින පොලිතීන්, ප්ලාස්ටික් ආදි නොදිරන කසළ ප්‍රතිචක්‍රීයකරණයට හා ප්‍රතිනිෂ්පාදනයට පෞද්ගලික අංශ ඉදිරිපත් වී සිටීම මේ පාරිසරික ප්‍රශ්නයෙන් ගොඩ ඒමේ සුබදායි පියවරකි. ඒ අනුව වෙන් කෙරෙන කසළ එම ආයතන සඳහා යොමු කෙරෙනු ඇත.
මෙම වැඩපිළිවෙළේ මුල් අදියර මහ නගර සභා 23ක ක්‍රියාත්මක කෙරෙන අතර, එහිදී මතු වන ගැටලුද හඳුනාගනිමින් ඊළඟ පියවර ලෙස නගර සභා හා ප්‍රාදේශීය සභාවලද ක්‍රියාත්මක කෙරෙනු ඇත.
රටේ කඳු ගැසෙන කුණු ප්‍රශ්නයෙන් පහසුවෙන් ගොඩ එන්නට නම්, පරිසරය පිරිසිදුව තබාගැනීමේ වගකීම නිලධාරීන්ට පවරා පුරවැසියන්ට නිහඬව සිටිය නොහැකිය. ඔවුන්ටද විශාල වගකීමක් ඇත. පරිසරය සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා නොගත්තේ නම්, එහි අනිටු පල නිසැකවම තමන්ට අත්විඳින්නට සිදු වන බව ඔවුන් තරයේ සිහි තබාගත යුතුය. පසුගිය කාලයේ ඇති වූ ගංවතුර තත්ත්වයේදී බොහෝ ජලගැලීම් ඇති වූයේ පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සිර වී කානු පද්ධති අවහිර වීම හේතුවෙනි. වසංගත රෝග මෙන්ම ඇතැම් බෝ නොවන රෝගයන්හිද නිධානය පරිසරය අපිරිසිදු කිරීමේ ප්‍රතිඵලයන්ය. වාර්තා වන අන්දමට දිනකට කොළඹට එන ජනගහනය ලක්ෂ 6ක් පමණ වන බව පැවසේ. මේ පිරිස් තමන්ගේ දිවා ආහාරය පමණක් නිවසින් රැගෙන එන්නේ නම්, දිනකට කොළඹ පමණක් එකතු වන ලන්ච් ෂීට් ප්‍රමාණය දළ වශයෙන් ලක්ෂ හයකට ආසන්නය. මෙය සරලව ගෙන අමතක කළ යුත්තක් නොවේ. කෙසෙල් කොළයක, තෙල් කඩදාසියක හෝ ආහාර බඳුනක දිවා ආහාරය ගෙන එන්නට තරම් වත් ඉවසීමක් ඕනෑකමක් වේ නම්, ඒ සුළු කාර්යයයේදී වුව පරිසරයට සිදු වන යහපත සුළුපටු නොවේ.
අතීතයේ දුර-ඈත විනෝද චාරිකා සඳහා දුම්රිය තෝරාගත්තේ අවට සුන්දරත්වයද යන-එන ගමනේදී විඳගනු සඳහාය. එහෙත් උදාහරණයක් ලෙස රාගම සිට කොළඹට ඉතා සුළු දුර ප්‍රමාණයක් දුම්රියෙන් පැමිණෙන්නකුට ජනෙල් කවුළුවෙන් එළිය බලන්නේ නම් අද දිස් වන්නේ නීල-හරිත ගහකොළ වෙනුවට මංමාවත් පුරා, දියකඩිති, වගුරුබිම් පුරා විසුරුවා ඇති දුර්වර්ණ, දුර්ගන්ධ පොලිතීන්, ප්ලාස්ටික් බෝතල්ය. සිලි මලු පුරවා ගැට ගැසූ කසළ පොදිය. මේ හිතන්නට මොළයක් නැති තිරිසන් සතුන්ගේ වැඩ නොව හොඳින් හිතන්නට මොළයක් ඇති, එහෙත් අක්‍රිය වූ මිනිසුනගේම ක්‍රියාකාරකම්ය. රටටම පොදු මේ තත්ත්වයම තව ටික කලක් පැවතියේ නම්, කසළ බැහැර කළ වුන් සේම ඔවුන්ගේ පරම්පරා ගණනක දූදරුවන්ටද මේ විනාශයට වගකියන්නට සිදු වන්නේය.