Sunday, May 19, 2024

ලසන්ත ඝාතනය හෙළිවෙන හැටි

2009 ජනවාරි 08 වැනිදා ලසන්ත වික්‍රමතුංග මහතා සිය නිවෙසේ සිට අත්තිඩියේ පිහිටි “සන්ඩේ ලීඩර්” පුවත්පත් කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අත්තිඩිය ප්‍රදේශයේදී පෙරවරු 10.30 ට පමණ මෝටර් රථය හරස් කළ යතුරුපැදිකරුවන් දෙදෙනෙක් රථයේ වීදුරුවද පසාරු කරගෙන ගොස් ඔහුගෙ හිසට බරපතළ තුවාල සිදුවී ඝාතනයට ලක් වන පරිදි උල් ආයුධයකින් පහර දී තිබිණි. ඔහු රෝහල්ගත කරන විට මිය ගොස් තිබිණි.

“ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ මම. මාගේ යාළුවා වන මලින්ද උදලාගම වැරැදිකරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න” යැයි ලිපියක් ලියා තබා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු සාජන් මේජර්වරයෙක් පසුගිය සතියේ සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි.

මෙසේ මිය ගොස් සිටියේ අවුරුදු 52ක් වයසැති තිදරු පියකු වූ දෙනිපිටිය පාර කරඬුවන පදිංචි ඉලන්දාරගේ ජයමාන්න නමැති පුද්ගලයාය.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය වසර 7ක් තිස්සේ අබිරහසක්ව තිබිණි. වසර හතකට පසු එනම් මීට මාස දෙකකට පෙර මේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට යුද්ධ හමුදාවේ බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු මලින්ද උදලාගමයි. ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණ සිදු වෙමින් තිබේ.

මේ අතර පසුගිය සතියේ හදිසියේම කෑගල්ලේදී ඉහත සඳහන් කළ හමුදා බුද්ධි අංශ නිලධාරි ජයමාන්නගේ සියදිවි හානි කරගැනීමත් සමඟම ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ තවත් පැත්තකට යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවී ඇත. මේ බුද්ධි අංශ නිලධාරියා සිය බුද්ධි අංශ හමුදා සේවයෙන් විශ්‍රාම ගියේ 2007 වසරේදීය. ඒ වසර 22ක හමුදා සේවය සම්පූර්ණ කරමිනි. ඔහු ලසන්ත වික්‍රමතුංග ඝාතන වගකීම බාරගෙන තිබේ. මිතුරා නිදහස් කරන්නැයි ඔහු සියදිවි හානි කරගන්නා අවස්ථාවේ ඉනේ ගසාගෙන තිබු අවසන් ලිපියෙන් ඉල්ලා ඇත. දිවි හානි කරගැනීමට දින දෙකකට පෙර කොළඹට පැමිණි ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සිය මිතුරා ද හමු වී තවත් යම් යම් ස්ථාන කිහිපයකට ද ගොස් තිබේ. කෙසේ වෙතත් මේ වන විට මේ බුද්ධි අංශ නිලධාරී ජයමාන්නගේ අවසන් ලිපිය සියදිවි හානි කරගැනීම සමඟ ඇතිවී තිබෙන ගැටලු රැසකි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක් වූයේ 2009 වසරේ ජනවාරි 8 වැනිදාය. බුද්ධි අංශ සාජන් මේජර්වරයා විශ්‍රාම ගොස් තිබෙන්නේ 2007 වසරේදීය.

කෙසේ වෙතත් සාජන් මේජර්වරයා මෙසේ මරණයට පත්වී ඔහු සිරුර ද දින තුනකට පසු භූමිදානය කර අවසන් වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුගේ සිරුර යළි ගොඩ ගැනීමට අවසර ලබාගෙන තිබිණි. ඒ අනුව පසුගිය 19 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් ආරක්ෂාව සහිතව සාජන් මේජර්වරයාගේ සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සිරුර ගොඩගෙන පරීක්ෂණ කිරීමට යළි අවසර ලබාගෙන ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සමඟ මේ සාජන් මේජර්වරයාගේ සියදිවි හානි කරගත්තා යැයි කියන සිද්ධිය අතර යම් තොරතුරු හා ගැටලු රැසක් නිරාකරණය කරගැනීමට අවශ්‍යව ඇති බැවිනි. තව ද ලසන්ත ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු සහ සිරුරේ තවත් යම් සලකුණු ආදිය සම්බන්ධව ද අනාවරණය කරගත යුතු කරුණු රැසක් ද විය. තවද එම සාජන් මේජර්වරයා මිහිදන් කිරීමට පෙර ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද නොලැබී තිබිණි. ඒ හැර මේ සාජන් මේජර්වරයා විසින්ම සියදිවි හානි කරගත්ත ද නැතහොත් වෙනත් බලපෑමක් නිසා සියදිවි හානි කරගැනීමට සිදු වූවා ද? නැත හොත් එමතු ඔහු ඝාතනයට ලක් කළේ ද යන්න සම්බන්ධව ද අනාවරණය කරගත යුතු කරුණු ‍රැසකි.

මේ වන විට එම සියලු පරීක්ෂණ සිදුවෙමින් පවතී. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පුස්සක් බවට පත්වී කිසිදු සැකකරුවකු අත්අඩංගුවට නොගෙන පරීක්ෂණ යට ගැසී තිබිණි. 2009 ජනවාරි 08 වැනිදා ලසන්ත වික්‍රමතුංග මහතා සිය නිවෙසේ සිට අත්තිඩියේ පිහිටි “සන්ඩේ ලීඩර්” පුවත්පත් කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අත්තිඩිය ප්‍රදේශයේදී පෙරවරු 10.30 ට පමණ මෝටර් රථය හරස් කළ යතුරුපැදිකරුවන් දෙදෙනෙක් රථයේ වීදුරුවද පසාරු කරගෙන ගොස් ඔහුගෙ හිසට බරපතළ තුවාල සිදුවී ඝාතනයට ලක් වන පරිදි උල් ආයුධයකින් පහර දී තිබිණි. ඔහු රෝහල්ගත කරන විට මිය ගොස් තිබිණි. එවැනි සැලසුම් සහගත බරපතළ අපරාධ සිද්ධියක පරීක්ෂණ යටගැසී තිබුණත් මේ ඝාතනය ඇසින් දුටු සාක්ෂි පවා තිබි ඇත.

එපමණක් නොව, ලසන්ත වික්‍රමතුංග මහතා පසුපස හඹා ආ ඝාතකයන් පිළිබඳව සැක සිතී ඔහු වරින්වර දුරකතන ඇමතුම් ද ලබා දී තිබිණි. ඒ අතර ඔහුට ජීවිතයේ එල්ල වී තිබු තර්ජන ආදිය ද ඇතුළත්ව බොහෝ දේ සටහන් කර තිබූ දිනපොත ද ඔහු සතුව තිබිණි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයත් සමඟ ඒ සියලු දේ අස්ථානගගත වී තිබේ. ඇසින් දුටු සාක්ෂි, දුරකතන, දිනපොත ද කා අතට පත්වුණේ ද යන්න නොවිණි.

ඒ අතර පසුගිය ජනවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ පරීක්ෂණ ආරම්භ කළේය. ඔවුන් සොයාගත් තොරතුරුවලට අදාළව ඊට සම්බන්ධ ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන්ගේ රුවට සමාන ඡායාරූප අපරාධ වාර්තා කොට්ඨාසය මඟින් සිතුවම් කර ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස මාධ්‍ය මඟින් ද ප්‍රචාරය කෙරිණි. ඒ අතර පසුගිය දා සියදිවි හානි කරගත් බව කියන සාජන් මේජර්වරයාගේ ඡායාරූපය සමඟ කලින් සිතුවම් කළ ඡායාරූපය ද යළි මාධ්‍යයට එකතු වී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඝාතකයන් සම්බන්ධව ලබාගෙන ඇති තොරතුරු සමඟ මේ සාජන් මේජර්වරයාගේ ඇඟිලි සලකුණු, ඡායාරූප හා වෙනත් සලකුණු හා තොරතුරු සසඳා බැලීම සිදු වෙයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා බලාපොරොත්තු නොවූ පරිදි සාජන් මේජර් ජයමාන්නගේ සියදිවි හානි කරගැනීමත් සමඟ ලසන්ත ඝාතනයේ තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් පවතී. ඒ අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරි මහින්ද උදලාගමගෙන් ද මේ සාජන් මේජර්වරයා සම්බන්ධව ප්‍රශ්න කර තිබේ.

සාජන් මේජර් ජයමාන්න මහතා තිදරු පියෙකි. ඔහුගේ බිරිය විදේශගතව සිටියේය. ඔහු බොහෝ කාලයක් බුද්ධි අංශ සේවයේ සිට ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධව ද විශාල වශයෙන් තොරතුරු එක්රැස් කළ නිලධාරියෙකි. ඔහු කියන පරිදි ඔහු ලසන්ත ඝාතනයට සම්බන්ධ වූයේ ද? ඒ කෙසේ ද? කුමන හේතුවක් මත කවුරුන් විසින් ඔහුට එම අපරාධය සිදු කිරීමට බාර දුන්නේ ද යන්නට අදාළ ගැටලු රාශියකට පිළිතුරු ඔහුගේ මරණයත් සමඟ යටපත් වී ඇත. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උත්සාහය ඒ සියලු ගැටලුවලට පිළිතුරු ලබාගැනීම වෙයි. සාජන් මේජර් ජයමාන්න මරණයට පත්වූවත් ඔහු විසින් ලසන්ත ඝාතනයේ වගකීම බාරගත්තේ ලසන්ත ඝාතනයේ පරීක්ෂණ ඔහුත් සමඟම පොළොවට පස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩ තබන්නේ නැත. තවත් වැඩි දවසක් යාමට පෙර ලසන්ත ඝාතනය කළේ කවුද කාගේ වුවමනාවකට ද යන සියලු කරුණු හෙළි කරගනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles