Monday, November 18, 2024

තමන් අපේක්ෂා කළ සහාය නේටෝ සංවිධානයෙන් තම රටට ලැබී නෑ

කිව් නගරයේ මේ වනවිට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර රුසියානු හමුදා අද උදෑසන සිට නගරයේ ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර යුක්‍රේන හමුදා රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙළා තිබූ බවත් යුක්‍රේන හමුදා හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශ වූ රුසියානු ප්‍රහාරක යානා සංඛ්‍යාව 7ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදා තම ග්‍රහණයට ගෙන තිබූ අතර කියෙව් ගුවන් තොටුපළ නැවත අත්පත් කර ගැනීමටත් යුක්‍රේන හමුදා සමත් වී තිබේ.

කෙසේ වෙතත් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි රුසියානු හමුදා සෙබළුන් 50 ක් ඝාතනය කළ බව යුක්‍රේනය ඊයේ ප්‍රකාශ කළද රුසියාව තවමත් සිදුවූ හානිය නිල වශයෙන් පිළිගෙන නොමැත.

දෙවන දිනටත් යුක්‍රේනයේ හඳුනා ගත් ඉලක්ක වෙත රුසියාව ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ගැටුම්වලින් මේ දක්වා යුක්‍රේන සෙබළුන් සහ සිවිල් වැසියන් 137 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර යුද්ධයේදී මියයන සොල්දාදුවන්ගේ මළසිරුරු විනාශ කර දැමීමේ පහසුකම් සහිත ජංගම ආදාහනාගාර නිපදවීමට රුසියාව පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇතැම් රුසියානු මව්වරුන් පවසා තිබුණේ තම පුතුන් රවටාගෙන පුටින්ගේ හමුදාවට බඳවාගෙන ඇති අතර ඔවුන් පුහුණු අභ්‍යාස සඳහා යුක්‍රේනයට යන බව පැවසූ බවය.

මේ අතර පුද්ගලයින් 14 දෙනෙකු සමඟ යුක්‍රේන හමුදා ගුවන් යානයක් කියෙව් ආසන්න ප්‍රදේශයකදී කඩා වැටී තිබේ.

ඊට ප්‍රහාරයක් එල්ල වී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර තුර්කියට අයත් නෞකාවකට ඊයේ යුක්‍රේනයේ වරාය නගරයක් වන ඔඩෙස්සා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණි.

කෙසේ වෙතත් ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

මේ අතර ඇමරිකාව විසින් තවත් 7,000ක හමුදා සෙබළුන් පිරිසක් ජර්මනියට යැවීමට පියවර ගෙන ඇති අතර නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපය වෙත ඇමරිකානු හමුදා සාමාජිකයින් 800 දෙනෙකු ගෙන් යුත් පිරිසක් ස්ථාන ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, තමන් අපේක්ෂා කළ සහාය නේටෝ සංවිධානයෙන් තම රටට ලැබී නැති බවය.

පැරුණි සෝවියට් දේශයට අයත් යුක්‍රේනය, අද යුරෝපා සහ බටහිර රටවලට සමීප වී සිටියත්, මෙතෙක් ඔවුන්ට නේටෝ සාමාජිකත්වය හිමිවී නොමැත.

යුක්‍රේන ජනාධිපති

“මම යුරෝපා සංවිධානයේ රටවල් 27 ක නායකයින්ගෙන් ඇහුවා යුක්‍රේනයට පුළුවන්ද නේටෝ සංවිධානය තුළ ඉන්න කියලා. මම කෙලින්ම ඇහුවා. හැමෝම බයයි.කවුරුත් උත්තර දෙන්නේ නැහැ. නමුත් අපි බය නැහැ. කිසිම දෙයකට බය නැහැ. අපි අපේ රට ආරක්ෂා කරන්න බය නැහැ. අපි රුසියාවට බයත් නැහැ. අපි මේ මොහොතේ නේටෝ සාමාජිකයන් නොවෙයි. නමුත් අපට ලැබෙන සහතික මොනවා ද? වැදගත්ම දෙය නම් අපට එම සහතික ලබා දෙන්නේ මොන රටවල්ද?”

මේ අතර යුක්‍රේන ජනාධිපති පවසන්නේ රුසියානු ආක්‍රමණයත් සමග රුසියාවේ පළමු ඉලක්කය තමන් බවය.

ඔවුන්ගේ දෙවන ඉලක්කය සිය පවුල බවත් පවතින තත්ත්වය අනුව තමන් සිටින්නේ දැඩි අවදානමක බවත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

පවත්නා තත්වය හමුවේ අවුරුදු 18 ඉක්මවූ පිරිමි පුද්ගලයන්ට රට හැරයාම තහනම් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදොමීර් සෙලෙන්ස්කි පියවර ගෙන තිබෙනවා.

යුක්‍රේනය තුළ යුද නීතිය බලපැවැත්වෙන දින 90ක කාලය තුළ එය බලපැවැත්වෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මේ වන විටත් යුක්‍රේන වැසියන් ලක්ෂයක් පමණ රටින් පළාගොස් ඇති බවත් තවත් බොහෝ පිරිසක් රටින් පිටවීමට උත්සහ දරමින් සිටින බවය.

මෙි අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගනු ලැබූ තීරණයට ලොව නන් දෙසින් බලපෑම් සහ විරෝධතා එල්ලවී තිබේ.

ඒ අනුව රුසියාවට එරෙහිව තවදුරටත් දරුණු ආර්ථික සම්බාධක පැනවීමට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඊයේ පියවර ගත්තේය.

ජනාධිපති පුටින්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයේ ඇමතිවරයෙකු වන ජේම්ස් ක්ලේවර්ලි James Cleverly  රුසියානු ජෙනරල්වරුන්ගෙන් ඉල්ලා තිබුණි.

මේ අතර  ජනාධිපති පුටින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට එරෙහිව රුසියාව පුරා නගර රැසක දැවැන්ත විරෝධතාව ව්‍යාපාර ආරම්භ වී තිබේ.

කෙසේ වුවද එම විරෝධතා ව්‍යාපාරයන්ට එක්වූ දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් රුසියානු පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර යුක්‍රේන අගනගරය වන කියෙව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය, ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හටගනු ලැබීය.

ප්‍රදේශයේ පැවැති දරුණු ගැටුම් මැද යුක්‍රේන පාලනයේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇතුළු ප්‍රදේශයේ බලය අවසානයේ රුසියානු හමුදාව අත්පත් කරගනු ලැබීය.

සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමට ද හේතුවක් වූ චර්නොබාල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යන්නේ 1986 වසරේදීය.

ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකුණු, එහි විකිරණ ධාරා යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කළේය.

වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා ඇති මේ නගරයේ බලාගාර තුළ න්‍යෂ්ටික විකිරණ අපද්‍රව්‍ය ගබඩා කර ඇති අතර ගැටුම් හේතුවෙන් යළි න්‍යෂ්ටික අනතුරු සිදුවේදැයි මේ වන විටත් සැක පලවී තිබේ.

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවන්නේ යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය.

මෙි අතර යුධමය වාතාවරණය යටතේ දැඩි ගැටළු රැසකට මුහුණ දී සිටින යුක්‍රේනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 350ක් ක්ෂණිකව ලබා දීමට කටයුතු කරන බව ලෝක බැංකුව නිවේදනය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles