Saturday, September 21, 2024

තිලංගට හා හේමසිරිට මුල් පුටු අහිමිවෙයි?

ක්‍රීඩා පනතේ නව රෙගුලාසි සංශෝධනයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට සභාපති ධුරයෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඒ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන හෙයිනි. මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් අදාළ රෙගුලාසි කෙටුම්පත් කර මෙම මස 04 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමුකර ඇති අතර, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා එය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් වෙත යොමු කර තිබේ. ඒ අනුව දේශපාලනඥයන්ට, ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම වාරණය කරමින් එම කෙටුම්පතේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු සාමාජිකයෙකුට හෝ ඕනෑම ප්‍රා‘දේශීය බලාධිකාරියක දේශපාලනඥයෙකුට ක්‍රීඩා සංගම්වලට තරග කළ නොහැකි බවයි.

අදාළ නව රෙගුලාසි යටතේ පුද්ගලයෙකු ක්‍රීඩා සංගම් වෙත තේරීපත්වීමට නුසුදුසුකම් රාශියක් සඳහන් කර ඇති අතර, ඒ අනුව වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ඉහළ පුටු හොබවන බොහෝදෙනෙකුට සිය තනතුරු අහිමිවීමට නියමිතය.විශේෂයෙන් වයස අවුරුදු 70 සපිරුණු පුද්ගලයන්ට ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම තහනම් කර ඇති අතර, විගණන වාර්තා අදාළ කාලසීමාව තුළ ඉදිරිපත් කිරීමට නොහැකි වූ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු දැරූවන්ටද අදාළ තනතුරු දැරීම තහනම් කර තිබේ.

එසේම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් වීම, කොටස් හිමිකරුවෙක් වීම, සම අයිතිය ඇති පුද්ගලයෙක් වීම හා ඔට්ටු තැබීමේ ව්‍යාපාරයක හිමිකාරීත්වය සතු පුද්ගලයෙකු වීමද ක්‍රීඩා සංගම්හි ඉහළ නිලයන් දැරීමට නුසුදුසුකම් ලෙස දක්වා තිබේ. සංශෝධිත නව රෙගුලාසි අනුව ජාතික සංචිතයක හෝ ජාතික කණ්ඩායමක යම් ක්‍රීඩකයෙකුට ඥාතීත්වයක් (දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන්) ඇත්නම් එයද නුසුදුසුකමක් ලෙස දක්වා තිබේ. එසේම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවීම, ක්‍රීඩකයන්ගේ ඒජන්තවරුන්ට හා කළමනාකරුවන්ටද ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම තහනම් කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට මෙන්ම එහි භාණ්ඩාගාරික ෂම්මි සිල්වා මහතාටද අදාළ තනතුරුවලින් ඉවත්වීමට සිදුව තිබේ. ක්‍රීඩා සංගම්හි භාණ්ඩාගාරිකවරයා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ව්‍යාපාර ගිණුම්කරණය පිළිබඳව සහතික පත්‍රලාභියෙකු හෝ ශ්‍රී ලංකා ගිණුම්කරණ ආයතනයේ (Association of Accounting Technician of Sri Lanka) සාමාජිකයෙකු වීම හෝ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු කටයුතු හා මුල්‍ය කටයුතු පිළිබඳ සහතික පත්‍රලාභියෙකු විය යුතු යැයි නව රෙගුලාසි යටතේ දක්වා තිබේ.

මේ පිළිබඳව අපි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම පිළිබඳ රෙගුලාසි යළිත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි. “අපි නැවත වරක් එම සංශෝධන පිළිබඳව පරීක්‍ෂා කිරීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීමට නුසුදුසුකමක් කියලා ඒකේ දාලා නැහැ. කෙසේ වෙතත් මම නැවත වරක් එය පරීක්‍ෂා කර බැලිය යුතුයි. අපි යම් සංශෝධනයක් කළා, ඒ ක්‍රීඩාව කරපු පුද්ගලයෙක් විය යුතුයි කියලා. උදාහරණයකට ස්කොෂ් ක්‍රීඩාව ගත්තොත්, එම ක්‍රීඩාව දන්න පුද්ගලයෙක් විය යුතුයි පරිපාලනයට පත්විය යුත්තේ.

නිකන් මන්ත්‍රී කෙනෙක් ගෙනල්ලා එතැනට දැම්මොත් ඔක්කොම ඉවරයි. භාණ්ඩාගාරිකවරයාට නම් අනිවාර්යයෙන් අපි සුදුසුකම් බලනවා. එම සුදුසුකම් නැත්නම් ඉන්න බැහැ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කලින් සංශෝධනයක් දැම්මා. එය අතපසුවෙලා තිබෙනවා. කොහොමත් ගැසට් කරන්න කලින් මම ආපහු සංශෝධන පරීක්‍ෂා කරනවා. දැනට අපි පරිවර්තන කටයුතු සඳහා දීලා තියෙන්නෙ. ඒ පරිවර්තන තුනම අපිට ලැබුණු ගමන් කමිටුවත් එක්ක ඉඳගෙන නැවත බලනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කියන එකට නව සංශෝධනයක් යෝජනා කළා. එය තාම එකතු කරලා නැහැ. ඔතැන වැදගත්ම දේ තමයි පෙබරවාරි 28 වෙනකොට විගණකාධිපතිවරයාට, විගණන වාර්තා ලබානොදුන් කිසිම කෙනෙකුට අපි තරග කරන්න ඉඩ තියන්නෙ නැහැ. ඒ වගේමයි වයස අවුරුදු 75 තිබුණු සීමාව අපි වයස අවුරුදු 70 දක්වා අඩුකර තිබෙනවා. 70ට වැඩි අයට තරග කරන්න ඉඩ දෙන්නෙත් නැහැ” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඔලිම්පික් කමිටුව ස්වාධීන කමිටුවක් වුවත්, ක්‍රීඩා අමාත්‍යංශයට හා අමාත්‍යවරයාට වගකිව යුතු හෙයින් වයස අවුරුදු 70 සපුරා ඇති ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාටද සිය ධුරය අහිමිවීමට නියමිත අතර, තවත් ක්‍රීඩා සංගම් රැසක ප්‍රධාන නිලතල දරන්නන්ටද ක්‍රීඩා සංගම් සඳහා තරග කිරීම නව රෙගුලාසි සංශෝධනය යටතේ වළක්වා තිබේ. එසේම මේ වනවිට අදාළ කෙටුම්පත ගැසට් කිරීම සඳහා සූදානම් කර ඇති අතර, එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles