Monday, September 23, 2024

දුම්රිය බලධාරීන් ගැටලු විසඳා නැතිවීම හේතුවෙන් යලිත් දුම්රිය වැඩ වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක් !

දුම්රිය ධානවය කිරීමේදී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා ඉදිරියේදී ඕනෑම මොහොතක දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජන සිදුවිය හැකි බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

ඔවුන් සඳහන් කරන්නේ දුම්රිය මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු දුම්රිය කාලසටහන යථාවත් වියයුතු ක්‍රියාවලිය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් ප්‍රමාද කරමින් ඇති බවයි.

පසුගිය සතිය තුළදීත් මේ ආකාරයට වැඩවර්ජන සිදු වූ බවත්, මේ නිසා ලබාදී තිබෙන පොරොන්දුවලින් ක්‍ෂණිකව සිදුකළ හැකි පොරොන්දු ටිකවත් ඉටු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

සියලුම් දුම්රියන් හා රාත්‍රී තැපැල් දුම්රියන් මේ මස 03වැනිදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බවට පසුගිය 28වැනිදා ප්‍රවාහන බලධාරීන් පොරොන්දු වූ බවත්, එහෙත් තවමත් එම පොරොන්දුව ඉටුකර නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව 2021 වසරේදී සිදුකළ දුම්රිය ස්ථාන වර්ගීකරණයට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවත්, මේ නිසා දුම්රිය ස්ථානාධිපති ස්ථාන මාරු වීම්වලට ගැටලු ඇති වී තිබෙන බවත් ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ නිසා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එය තාවකාලික පදනමින් ක්‍රියාත්මක කර දුම්රිය ස්ථානාධිපති මාරුවීම් ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි බවත්, එහෙත් මෙතෙක් එම කටයුත්ත සිදුකර නොමැති බවත් පවසා සිටි ඒ මහතා, මේ නිසා මේ වසරේ ජනවාරි 01වැනිදා සිදුවිය යුතු ස්ථාන මාරුවීම් සිදු නොවූ බවද සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය කවුළු ස්ථානාධිපති තනතුරේ පුරප්පාඩු තුන්සියක් පමණ ඇති වී තිබෙන බවත්, මේ නිසා දුම්රිය මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී සේවයේ යෙදී සිටින ස්ථානාධිපතිවරුන් හා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන් වාර 415ක් සිදුවිය යුතු බවත්, එහෙත් මේ වනවිට සිදුවන්නේ, ගමන් වාර 280ත් 300ත් අතර ප්‍රමාණයක් බවත් පවසා සිටි හෙතෙම, ධාවනය වන දුම්රියන් පවා සමහර අවස්ථාවල ක්‍ෂණිකව අවලංගු කරන බවද පවසා සිටියේය.

මේ නිසා පවතින ගැටලු මූලික කර ගෙන ඕනෑම අවස්ථාවක දුම්රිය වර්ජනයන් සිදුවිය හැකි නිසා බලධාරීන් අඩුම් තරමින් දුම්රියන් අවලංගු නොකර සියලුම තැපැල් දුම්රියන් හා සාමාන්‍ය දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමටවත් කටයුතු කළ යුතු බවද කසුන් චාමර මහතා ප්‍රකාශ කළේය.

එසේම අනෙකුත් ගැටලු ක්‍රමාණුකූලව විසඳීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, ඉහළ පෙළේ බලධාරීන් විසින් ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා දුම්රිය සේවකයන් සේම මගී ජනතාවත් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles