Thursday, January 16, 2025

දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉවත් කොට 40 වසර පිරෙන විට ජාතික රූපවාහිනිය මරාදමයි

ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ නිල ලාංඡනය නව පාලනාධිකාරිය යටතේ වෙනස් කොට තිබෙනවා.

ඒ අනුව එහි මෙතෙක් කලක් තිබූ හැඩය සහ ‘රූපවාහිනී’ ලෙස භාෂා ත්‍රිත්වයෙන් තිබූ සටහන මීට දින කිහිපයකට පෙර වෙනස් කිරීමට ලක්කර ඇති බව දැකගත හැකියි.

නව සංකේතය මගින් මෙතෙක් කලක් පැවති දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉවත්කොට සිංහල භාෂාව පමණක් යොදා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති මැදිරිය මෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ විලාශයද නව පාලනය යටතේ වෙනස් කර තිබෙනවා.

වසර 40කට පසු ජාතික රුපවාහිනියේ ලාංඡනය වෙනස් කරමින් එය මරාදමා ඇතැයි එහි සේවකයින් පවසනවා .පසුගිය පෙබ 22 දා ජාතික රූපවාහිනිය නිල ලාංජනය වෙනස්කරමින් මෙම කණගාටුදායක තත්වය ඇතිකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රූපවාහිනි ලාංඡනයෙන් දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉවත්කිරීම පිළිබදව එම සංස්ථාවේ සේවකයින් දැඩි කළකිරීමට පත්ව තිබෙනවා

1982 පෙබ 22 ද ජාතික රුපවාහිනියේ ආරම්භ කර පුරා වසර 40ක් තිස්සේ රූපවාහිනී ලාංඡනය සිංහල , දෙමළ , ඉංග්‍රීසි යන ත්‍රෛභාෂා වෙන් සදහන් විය . නමුත් නව ලාංඡනය තුල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව ඉවත් කරමින් එය සිංහල භාෂාවෙන් පමණක් සටහන් කරමින් ජාතික රූපවාහිනියේ අනන්‍යතාවය ඝාතනය කොට ඇති බවයි එහි සේවකයින් සහ ජාතික පවාහිනිය ආරම්භයේ සිට සිටින ප්‍රවීණ මාධ්‍යවේදීන් පවසන්නේ .

රටේ ප්‍රධානම රාජ්‍ය මාධ්‍ය ආයතනය වන ජාතික රූපවාහිනිය නාලිකාව එක ජාතියකට පමණක් අයත් නොවන අතර එය සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙම නාලිකාව වෙනවා . ජාතික රුපවාහිනිය අරම්භයේ සිට යොදාගත් වර්ණ , පසුබිම් සංගීතය යන සෑම දෙයක්ම යොදාගත්තේ රටේ අනන්‍යතාවය මතයි.

රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙරට අනෙකුත් භාෂා නොසලකා හැරීමට හිටිහැටියේ කටයුතු කිරීම සංහිදියා සංකල්පයට මෙන්ම රජයේ ප්‍රතිරූපයටද දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද හානි කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජාතික රූපවාහිනිය මෙරට ජාතික නාලිකාව වශයෙන් 1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරනු ලැබූවා.

1982 පෙබරවාරි 15 වැනිදා නිල වශයෙන් සිය සේවාව ආරම්භ කොට මේ වන විට වසර 40 ක් ගෙවී තිබෙනවා.

ජපන් ජනතාවගෙන් ශ‍්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුණු මෙම ආයතනය ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලෙස සිංහල, දෙමළ හා ඉංග‍්‍රිසි භාෂා ත‍්‍රිත්වයෙන්ම සිය සේවා පවත්වාගෙන යනු ලබනවා.

රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා මෙම වසරේ ජනවාරි මස පත්කරනු ලැබූවා.

ඒ එහි හිටපු සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟයි.

නව සභාපති සොනල් ගුණවර්ධනගේ හිතුවක්කරි ක්‍රියාකලාපයන් නිසා දැඩි ලෙස පාඩු ලබමින් සිටින ජාතික රූපවාහිනිය සමස්ත ජාතියේම ලැජ්ජා සහගතම නාලිකාව බවට පත්වෙමින් තිබෙන බවයි සේවකයින් පෙන්වා දෙන්නේ .

ඒමෙන්ම ජනමාධ්‍ය පිළිබඳ හසල දැනුමක් තිබෙන ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු ද වන ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මොහොතකදී මෙම අවාසනාවන්ත තත්වය ඇතිවීම පිලිබදව කණගාටුවන බව ජනමාධ්‍ය විචාරකයින් රැසක් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles