Friday, December 27, 2024

දොස්තර දරුවන්ට සුපිරි පාසල් නෙමෙයි රටේම දරුවන්ට හොඳ පාසල් දෙන්න ඕන

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලීම, සයිටම් විරෝධය, පුංචි ඡන්දය ඉක්මන් කර ගැනීමේ සටන ඒකාබද්ධ විපක්ෂය ජවිපෙන් සහය ඉල්ලීම වැනි කරුණූ පිළිබඳ අදහස් දක්වමින් කළුතර දිස්ත්‍රික් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අද එහා ඉවුරට එක් වෙයි.

* රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා සිටීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අධ්‍යාපන අමාත්‍යතුමා අතර වාද විවාද සිදු වෙනවා. ඔබ වෛද්‍යවරයෙක් හා මහජන නියෝජිතයෙක් ලෙස මේ ප්‍රශ්නය දකින්නේ කොහොම ද?

මේ දපාර්ශවයේම පොරය දිහා බලලා ඒකෙන් කෙනෙක් වින්දනයක් හරි තව කෙනෙක් කලකිරීමක් හරි ලබලා තියෙනවා නම් ප්‍රශ්නය එතනම තියෙයි. හැම අවුරුද්දකම ඔක්තෝම්බර් – නොවැම්බර් මාස වන විට අප රටේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. මවුපියන් තමන්ගේ දරුවන්ව ඇතුළත් කරගන්න කැමැති පාසල් මේ රටේ තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා නිසික්‍රමවේදයක් නැති කමිනුත් පාසල් ප්‍රමාණවත් නොවීමත් නිසයි මේ ඇති වෙලා තියෙන්නේ. මේ හැම මවුපියෙක්ම සටන් කරන්නේ තමන්ගේ දරුවාට රජයේ පාසලක් ලබා දෙන්නයි කියන කාරණය ගැන සියල්ලටම කලින් අපි සතුටු වෙන්න ඕනා.

* ජනප්‍රිය පාසල් බිහි වන්නේ රටේ පාසල් පද්ධතියේ ඇති විෂමතා නිසා නේ ද?

ඔබ හරි. මවුපියන්ට තෘප්තිමත් විය හැකි පාසල් පද්ධතියක් රටේ ගොඩ නඟන්න ගතවුණු දශක 7ක කාලය තුළ බලයට පත් වුණු කිසිදු ආණ්ඩුවක් සමත් වෙලා නෑ. මේ සීමිත දොරටුවෙන් ඇතුළට යන්න මහා තරගයක් ඇති වන්නේ ඒ නිසයි. දොරටුවෙන් ඇතුල් වෙන්න විවිධ ක්‍රමවේදයන් හැදුවට දොරටුව පුළුල් කරන්න කවුරුවත් උත්සාහ කරන්නේ නෑ.

දැනට රටේ ජනප්‍රියතම පාසල් තිස් හයක් තියෙනවා. මේ තිස් හයට වසරකට ඇප්ලිකේෂන් අනූ දාහක් විතර එනවා. එයින් දරුවන් හයදාහක් විතර ඇතුල් කර ගන්නවා. ඉතිරි අසූ හාරදාහක් එළියේ. ඒ අසූ හාරදාහෙන් කොටසක් අධිකරණයට ගියා අධිකරණය තව හයදාහක් ගන්න ක්‍රමවේදයක් හැදුවා. ඒත් ඉතිරි ප්‍රමාණයට උත්තරයක් නෑ. අපේ රටේ පෙර පාසලේ ඉදලම ජාතික ප්‍රතිපත්තියක් නෑ.

ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට, පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස්වන අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපට තියන්නේ. විවිධ කාලවල විවිධ නම්වලින් මේ වර්ගීකරණය කරන්නේ එකම පාසල් දාහදාහක්. මේ වර්ගීකරණයෙන් ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බව ඔප්පු වී තිබෙනවා. කළ යුතු වන්නේ ජනතාවගේ ඉල්ලීම් ගැන සලකා බලා පුළුල් කළ යුතු පාසල් පුළුල් කරමින්, විතැන් කළ පාසල් විතැන් කරමින් අවම හෝ සම්පත් ප්‍රමාණයක් ලබා දෙමින් රටේ සමස්ත පාසල්වල භෞතික හා මානව සම්පත් දියුණු කිරීමයි.

* තම දරුවන්ට පාසල් ඉල්ලා සිටීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් අසාධාරණයි කියලා ඔබ පිළිගන්නවා ද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරපු ලැයිස්තුව බලපුවාම සාධාරණ ඉල්ලීම් වගේම අසාධාරණ ඉල්ලීමුත් තියෙනවා. වෘත්තීය සමිතිය පැත්තක තිබ්බොත් වෛද්‍යවරු තමන්ගේ දරුවාට උසස් පාසලක් ඉල්ලීම සම්බන්ධයෙන් අපට දොස් කියන්න බෑ. විශේෂඥ වෛද්‍යවරු වගේම මීට මාස තුනකට කලින් කළුතර මීගහතැන්න ප්‍රදේශයේ උපවාස කළ වැලිගොඩදාන, රබර් කිරිකපන මවුපියොත් කළේ එකම ඉල්ලීම. හැබැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ ජනතාවට කිසිසේත් පිළිගන්න බැරි ඉල්ලීමුත් ඉදිරිපත් කරලා තියෙනවා.

උදාහරණයක් ගත්තොත් අනුරාධපුරයේ ඉදලා හොරණට ස්ථාන මාරු ලබන වෛද්‍යවරයකුගේ දරුවාට හොරණ තක්ෂිලා විද්‍යාලය ලබා දීම සාධාරණයි. නමුත් ළමා රෝහලේ ඉදලා ජාතික රෝහලට මාරුවුණු කෙනෙකුට කොළඹ රාජකීය විද්‍යාලය ඉල්ලනවා, මහනුවර ඉදලා බදුල්ලට මාරුවුණු අයෙක් කොළඹ විශාඛා විද්‍යාලය ඉල්ලනවා වැනි බොහොම අමනෝඥ ඉල්ලීම් ප්‍රමාණයක් මේ ඉල්ලීම් අතර තියෙනවා.

විශේෂයෙන් කියන්න ඕනා මේ ලැයිස්තුවේ නැති සැබෑ ලෙසම තමන්ගේ දරුවන්ට පාසලත් අවශ්‍ය වෛද්‍යවරු සිය ගණනක් මේ රටේ ඉන්නවා. අපි ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරලත් තියෙනවා. ඒකයි ඇත්ත.

* ඔබ කිවුවා වගේ මවුපියෙකුටම දරුවන්ට හොඳ පාසලක් ලබා ගන්න අයිතියක් තියෙනවා. නමුත් මවුපියන්ගේ වෘත්තීය පදම් කරගෙන දරුවන්ට පාසල් ඉල්ලීම වැඩ වසම් ක්‍රමයක ලක්ෂණයක් නේ ද?

එක පැත්තකින් මේ වෛද්‍යවරු පාවිච්චි කරන්නේ තම වෘත්තීය බලය. එවැනි බලයක් පාවිච්චි කරලා ළමයි ඇතුළත් කිරීම් කරන අවස්ථා ඔවුන් දකිනවා. දේශපාලකයන්ගෙන්, අධ්‍යාපන නිලධාරීන්ගෙන් ලියුම් අරගෙන මේ වැඩේ කර ගන්නවා. ජනමාධ්‍ය යේ තියෙන බලය පාවිච්චි කරනවා. ඇයි එහෙනම් අපටත් බැරි වෘත්තීය බලය පාවිච්චි කරන්න කියන තැනට වෛද්‍යවරුන් එනවා. මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනා. ජනතාවට දැනෙනවා නම් තමන්ගේ දරුවට පාසලක් ලැබෙනවා. ඒකට වෙනත් ඇඟිලි ගැසීම් නෑ කියලා ඔවුන් ඒක ඉවසාගෙන සිටිවී.

අපි මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අය කියන එක. පඩි ගන්නේ අනෙක් රාජ්‍ය සේවකයෝ වගේම මේ රටේ ජනතාවගෙන් කියන එක වෛද්‍යවරුත් දැන ගන්න ඕන. මේ ‍රටේ වෛද්‍යවරු සියලු දෙනා ආනන්ද, නාලන්ද, රෝයල්, විශාඛා ගිය අය නොවෙයි. තමන්ගේ ප්‍රදේශයේ මහා විද්‍යාල හෝ මධ්‍ය මහ විද්‍යාලවලින් බිහිවුණු අය. තමන්ගේ දරුවාට ජනප්‍රිය පාසලක් ලබා ගන්න මේ කරන සටන අපේ රටේ සියලු දරුවන්ට හොඳ පාසලක් උරුම කර දෙන සටනක් බවට පරිවර්තනය කළහොත් ඒක තව අවුරුදු පහ හයක් යන කොට ඵලදායක වේවි.

* අතලොස්සක් පාසල් ජනප්‍රිය වෙද්දී බොහෝ පාසල්වල මූලික පහසුකම්වත් නෑ. මේ කාරණයට වග කියන්න ඕනා මේ රටේ ඔබ ඇතුළු ජනතා නියෝජිතයන් නොවෙයි ද?

පසුගිය අය වැයේ දී අධ්‍යාපන අමාත්‍යතුමා කිවුවේ මේ ‍රටේ අධ්‍යාපනයට ඕනෑ තරම් මුදල් වෙන් කරලා තියෙනවා කියලා. ඒක ඉතිහාසයේ වෙන්කරපු වැඩිම මුදල කියලත් කිවුවා. මම නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ පාසල්වලට අත්‍යවශ්‍ය පහසුකම් කිහිපයක් ලබා දීමට යෝජනා ඉදිරිපත් කළාම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියු වේ මුදල් වෙන් කරලා තියෙන නිසා මේවා ඕන නෑ කියලා.‍

නමුත් පාසල්වල අවම පහසුකම් ටිකවත් නඩත්තු වෙන්නේ මවුපියන්ගෙන් නැත්නම් ආදි ශිෂ්‍යයන්ගෙන්. අඩු පහසුකම් තියෙන අධ්‍යාපනයට උනන්දුවක්, තරගයක් නැති පාසලක දරුවන් තියන්න මවුපියන් කැමැති නෑ. සපිරි පාසල් වලට දරුවා ඇතුළු කරන්නත් ඔවුන් ඕනෑම දෙයක් කරන්න එකඟයි.

* රටේ දුෂ්කර ප්‍රදේශවල ගුරු හිඟයක් තියෙනවා. නගරයේ පාසල්වල ගුරුවරු අතිරික්තයක් තියෙනවා. මේ ගැටලුව ඔබ දකින්නේ කොහොම ද?

මේකට හේතුව අධ්‍යාපනයේ විකෘති භාවය. ගුරුවරුන් දෙලක්ෂ විසි පන්දහසක් ඉන්නවා. ගුරු හිඟය හැට පන්දාහක් අතිරික්තය හතළිස් තුන්දහසක්. ඒ කියන්නේ සමහර අත්‍යාවශ්‍ය විෂයයන්වලට ගුරුවරු නෑ.

සමහර විෂයයන්වලට ගුරුවරු වැඩියි. ගුරුවරු නැතිව සමහර පාසල් වැසී යනවා. සමහර පාසල් අඩාල වෙනවා. ගුරු පත්වීම් ඉල්ලලා උපාධිධාරීන් උද්ඝෝෂණ කරනවා. මේ විෂමතාව තුලනය කරන්න නේද අවුරුදු පහකට වරක් ආණ්ඩුවක් පත් කර ගන්නේ. නමුත් ගැටලුව ‍එහෙම්ම තියෙනවා. ‍ඉන් පෙනෙන්නේ තට්ටු මාරු ආණ්ඩුවල නොහැකියාව.

* වර්තමාන අධ්‍යාපන අමාත්‍යතුමා 2018 අවුරුද්දේ ඉදලා පාසල් මුල්කරගෙන ගුරුවරුන් බඳවාගෙන මේ ගැටලුව විසඳන්න සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා නේ ද?

ඒ ක්‍රමය එතරම් අනුමත කරන්න බෑ. එහෙම ගියොත් ගුරු මාරු ක්‍රියාත්මක කරන්න බැරි වේවි. ගුරු වෘත්තිය කියන්නේ ප්‍රාදේශීය සේවාවක් නොවෙයි. ජාතික සේවාවක්. කිසියම් ගුරුමාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා නම් ඔය කොයි කවුරුත් ගුරුවරු දුෂ්කර ප්‍රදේශවලට යන්න සූදානම්.

* සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව ඔබේ අදහස කුමක් ද?

ලෝකයේ රාජ්‍ය විශ්වවිද්‍යාල හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කියලා වර්ග දෙකක් තියෙනවා. ලාභ ලැබීම අරමුණු කරගෙන පවත්වාගෙන යන්නේ මේ අතරින් ඉතාම සුළුතරයක්. ඕස්ට්‍රේලියාවේ එවැනි විශ්වවිද්‍යාල තියෙන්නේ දෙකයි. සිංගප්පූරුවේ තියෙන්නේ දෙකයි. ඉන් එකක් අර්ධ රාජ්‍ය. ඇමරිකාව ගත්තත් එහෙමයි. නමුත් සයිටම් එක හදන්නේ ලාභ ලැබීමේ ඒකායන අරමුණින්.

ඒ ලාභ ලැබීමේ අරමුණ කොතරම් ද වංචනික ද කියනවා නම් ආයතනයේ නම තුන්වරක් වෙනස් කරලා මැනේජ්මන්ඩ් කියන්න දාපු M එක මෙඩිසින් කියලා කියන්න තරම් වංචනික වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඔවුන්ව පිළිඅරගෙන නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අනුමැතිය ලබා ගෙන නෑ. සිසුන් ඇතුළත් කර ගැනීමේ දී සුදුසුකම් ගැන ගැටලු මතු වෙලා. රුසියානු විශ්වවිද්‍යාලයක් එක්ක අනුබද්ධිතයි කීවාට ඒක බොරුවක් බවට ඔප්පු වෙලා.

නෙවිල් ප්‍රනාන්දු සක්විති ගණයේ ව්‍යාපාරිකයෙක්. අලුත්ම හෙළිදරව්ව ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබුණ තාජුඩීන්ගේ සිරුරේ කොටස් පවා සයිටම් එකට ගෙනහිල්ලා තියෙනවා. අපි රජයෙන් අහන්නේ සක්විති රණසිංහට දඩුවම් කළා නම් එවැනි ගණයේ ව්‍යාපාරික ආයතනයක් වෙච්චි සයිටම් එකට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියලා.

* ශිෂ්‍යය ලියාපදිංචි කිරීමට පෙර මූලික සුදුසුකම් පරීක්ෂා කරන්නේ UGC එක කියලා සයිටම් පාලකයෝ කියනවා.

සුදුසුකම් පරීක්ෂා කරන්නේ UGC එක නම් ඒක අයිති උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට. ලක්ෂ්මන් කිරිඇල්ල මහතානේ මම පාර්ලිමේන්තුවේ දී සයිටම් එකේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඔවුන් උසස් පෙළ හෝ ඊට සමාන්තර විභාගයක් කරපු කාලය හා ඒවාට සුදුසුකම් මොනවා ද කියලා ඇහුවම ආයතනය ඒ ‍තොරතුරු ලබා දෙන්නේ නෑ කියලා ඇමැතුමා කිවුවා. ඔය කිවුවට සයිටම් ඇතුළේ ජීව විද්‍යාව හැදෑරුවේ නැති, උසස් පෙළවත් හදාරපු නැති අය ඉන්නවා ද කියලා සැකයි. මෙවැනි ආයතනවලින් බිහිවෙන අයගෙන් බෙහෙත් ගන්න කියල ද ආණ්ඩුව කියන්නේ.

* ඔය මොන තර්ක කළත් අප රටේ ප්‍රමාණවත් වෛද්‍යවරු පිරිසක් නෑ නේ ද?

වෛද්‍යවරු හතළිස් දාහක් සිටිය යුතු වුණත් මේ රටේ ඉන්නේ දහහත්දාහයි. රජයේ වෛද්‍ය පීඨ අටක් තියෙනවා. වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කරන්න රජයට සැබෑ වුවමනාවක් තියෙනවා නම් සමරගමුව, ඌව, වයඹ, මොරටුව විශ්වවිද්‍යාල අනුබද්ධිතව රජයේ වෛද්‍ය පීඨ ආරම්භ කරන්න බැරි ඇයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට Z ස්කෝර් එක අනුව වෛද්‍ය ශිෂ්‍යයෝ බඳවා ගන්න බැරි ඇයි. එහෙම නැතිව තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න මවුපියන්ට තියෙන කැමැත්ත පුද්ගලික මුදලාලිලාට ගසා කන්න ඉඩ දීලා බලා ඉන්න එක ද ආණ්ඩුවේ වගකීම.

* අල්ලස් හා දූෂණ කොමිෂමේ සභාපතිතුමියගේ වැටුප් වැඩි කිරීම ඇතැම් දේශපාලනඥයින් දකින්නේ ඇයට දීපු අල්ලසක් කියලා. ඇත්තටම මෙය අල්ලසක් ද?

ඔය චෝදනා කරන අය තමයි ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළේ. දැන් ස්වාධීනව ක්‍රියාත්මකවන අල්ලස් කොමිසමේ නඩු වැටිලා තියෙන්නේ මේ කෑ ගහන අයට. ඉතින් එවැනි චූදිතයන්ගෙන් අල්ලස් කොමිසම ගැන හොඳක්, ගුණයක්, වර්ණනාවක් බලාපොරොත්තු වෙන එක වැරැදියි.

* පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්න කියලා විරෝධය පළ කරන්න ඒකාබද්ධ විපක්ෂය ජ.වි.පෙට කළ ආරාධනය පිළිගන්නවා ද?

පළවැනි එක තමයි ඒකාබද්ධ විපක්ෂය කියන එක අපි පිළිගන්නේ නෑ. එහෙම එකක් නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පක්ෂ හයයි. ඕක මහින්ද රාජපක්ෂ හදා ගත්තු කල්ලියක්. අපිට ආරාධනා කරන ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඔය කණ්ඩායමට පාර්ලිමේන්තුවේ එකතු කරලා පෙන්වන්න කෝ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles