නවසීලන්තය පකිස්තානයෙන් ආපසු හැරී ගියේ නිකම්ම ද?

0
485
A masked protester sits next to a flag of Pakistan during an anti-Indian protest in Srinagar, November 25, 2016. REUTERS/Danish Ismail

නවසීලන්තය ක්‍රිකට් පිල පකිස්තානයේ තරග ඇරඹීමට ඔන්න මෙන්න කියා තිබියදී සංචාරය අත්හිටුවා ආපසු නික්මයාම සම්බන්ධයෙන් මේ වනවිට පුලුල් කතාබහක් නිර්මාණය වී තිබේ. සංචාරය නතරවීමට හේතුව , ආරක්ෂාව පිළිබද ගැටලු වුවත්, සමහරැ මේ සම්බන්ධයෙන් පවසන්නේ නවසීලන්තය බොරු බියක් ඇති කරගත් බවකි.අසල්වැසි ඉන්දියාව සිදුකළ බොරු ප්‍රචාරයක් මීට හේතුවූ බවටද පකිස්තානය චෝදනා කරයි.

එහෙත්, මේ වනවිට පකිස්තානයේ සිදුවෙමින් පවතින කරැණු විමසිල්ලෙන් නිරීක්ෂණය කරන විට නවසීලන්තයේ තීරණයට අදාළ සාධාරණ හේතු ඇති බව පෙනේ.

පසුගිය සැප්තැම්බර් 20වනදා පන්ජාබ් ප්‍රාන්තයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් ලාහෝරයේදී පුද්ගලයන් සිව්දෙනෙකු පුපුරණ ද්‍රව්‍යද සමග අත්අඩංගුවට ගනු ලැබිණ.කරච්ච්යේ පදිංචිකරැවන් වූ ,මොහොමඩ් මුෂ්ටාක් ,සාමි උල්ලා,අදීල් ජමාල් සහ ඔසාමා කාලිඩ් යන මෙම සිවිදෙනාගේ ඉලක්කය විශේෂිත පුද්ගලයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම බව දැනට කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පකිස්තාන පොලිසිය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මේ අතර පසුගිය කාලසීමාව පුරාම විවිධ ත්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් පකිස්තානය පුරා අනතුරු ඇගවීම් සිදුකර තිබිණ.සින්ද් පොලිසියේ ප්‍රධානී මුෂ්ටාක් අහමඩ් මහාර් විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛනයකින් කියවුණේ,සැප්තැම්බර් මාසය පුරා කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවීමේ ඉඩක් ඇති බවයි.ඒ අනුව දුමිරිය ස්ථාන, බස් රථ,අංගන, වෙළෙද සැල්, ඇතුළු ජනතාව එක් රැස්වන ස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණ.

විශේෂයෙන් ඇෆ්ගනිස්තානයේ මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ දහස් ගණන් සරණාගතයන් පකිස්තානය බලා පැමිණෙති.මෙි පිරිස අතර, විවිධ සටන්කාමී කණ්ඩායම්වලට සම්බන්ධ පිරිස් ද පැමිණීමට ඉඩ ඇති බව පවසමින් පකිස්තානය මීට අදාළව විශේෂ ආරක්ෂක විධිවිධාන අනුගමනය කරයි.

මෙම පසුබිම තුළ සියල්ල සලකා බලන විට පැහැදිලි වන්නේ නවසීලන්තය ආපසු හැරීයාම හුදු බොරු බියක් හෝ දුස් තොරතුරක් මත සිදුවූවක් නොව පදනම් සහගත කරැණු මත සිදුවූවක් වන බවයි.අනෙක් අතට මීට වසර ගණනාවකට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලාහෝරයේදී මුහුණදීමට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අමිහිරි අත්දැකීම ද ⁣පහසුවෙන් අමතක කළ නොහැකි බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here