Wednesday, January 15, 2025

ප්‍රසන්න ‘සංචාරක බංගලා’ විකුණයි..!

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සංචාරක මණ්ඩලයට අයත් සංචාරක බංගලා කිහිපයක් සිය හිතවතුන්ට බදු දීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. ඊට සංචාරක මණ්ඩලයේ පොදුජන පෙරමුණු වෘත්තිය සමිතිය ප්‍රමුඛ සියලුම වෘත්තිය සමිති විසින් පසුගියදා සංචාරක මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවයකට එක්විය.

බෙන්තොට, නුවරඑලිය, අනුරාධපුර, බණ්ඩාරවෙල, කතරගම ආදී ජාතික නිවාඩු නිකේතන පමක් සංචාරක බංගලා මෙහිදී අමාත්‍යවරයාගෙ අවධානයට ලක්ව ඇත. මෙය සිදු නොකරන ලෙස සියලු වෘත්තිය සමිති සාකච්ඡා මාර්ගයෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් ලබා දී නොමැත.

2011 දී අනුරාධපුර නිවාඩු නිකේතනය ගංවතුරින් හානිවී තිබු අතර එය මේ වනතෙක් අලුත්වැඩියා කරන නැත. දුර්වල කළමනාකාරීත්වය සහ පරිපාලනය මේ ආයතන වළපල්ලට යවන බවට සේවකයෝ මැසිවිලි නඟති.

සෞභාග්‍යයේ දැක්ම යටතේ මෙවැනි ස්ථාන හරහා රටටත් රජයටත් ආදායම් උපදවන බවත්, සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර ගන්නා බව පවසා සිටියත් ඒ සියල්ලවචන වලට සීමා වී ඇත. සේවක හිගය, පහසුකම් සැපයීමේ ප්‍රමාදයන් මෙන්ම නිවාඩු නිකේතන භාරකරුවන්ගේ අදහස්, යෝජනා සහ ඉල්ලීම් තුට්ටුවකට මායිම් නොකර හිතුමතේ තීරණ ගන්නා පාලනාධිකාරිය එළවා දැමිය යුතු බව සේවකයෝ පවසති.

පී.බී කලුගල්ල මහතාගේ යුගයේ මෙහි අරමුණ වූයේ රටේ සංචාරකයන්ට දැරිය හැකි මුදලකට හෝටලයක ලැබෙන සත්කාරය ලබාදීම වුවත් මේවා නඩත්තු කිරීමට හෝ වර්තමානයේ උත්සාහන් නොදරයි. අනුරාධපුර නිකේතනයට වතුර ෆිල්ටරයක්, සූර්ය විදුලිබලය ලබාදීම හරහා වියදම් අඩුකරමින් පහසුකම් සැලසිය හැකි වුවත් ඒවා මෙතෙක් සිදුකර නොමැති. සේවකයන් සපයාගැනීමේදී මණ්ඩලයට අයිති හෝටල් පාසලත්, නියාමනයට තත්ත්ව ඒකකයකුත් තිබියදීත් මෙන්ම ප්‍රවර්ධන කාර්යාංශයක් තිබියදීත් ඒ කිසිදු ආයතනයක සේවාව ලබා ගන්නේ නැත. එමෙන්ම නුවරඑළිය බණ්ඩාරවෙල සංචාරක නිකෛ්තන වල ‘බාර්’ එක පවා වසා දමා ඇත. සංචාරකයන් නුවරඑළියට එන්නේ භාවනා කරන්නට යැයි පාලනාධිකාරිය සිතනවා විය යුතුය. විශාල පහසුකම් ප්‍රමාණයක් මේ නිවාඩු නිකේතන සතු වුවද නිසි නඩත්තුව සහ කළමනාකරණය නොමැති වීම නිසා ඒවා පවත්වාගෙන යාමේදී නිකේතන නිලධාරීන් පවා අසරණව සිටියි.

අනෙකුත් හෝටල් සහ සංචාරක සේවා ආයතන වලට ආදර්ශය සහ මගපෙන්වීම ලබදියයුතු ආයතනයක් මෙලෙස වළපල්ලට යැවීමත්, පෞද්ගලික ආයතනයකට බදුදීම හරහා රජයට ලැබෙන මහා ආදායමක් නැතිකරගැනීමත් මෙන්ම පොදු දේපළක් අවභාවිත කිරීමත් සිදුවන බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles