Friday, September 20, 2024

පැරාලිම්පික් ජයග්‍රාහකයින් අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමුවූහ.

පැරාලිම්පික් තරගාවලියේදී ලබාගත් මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළට ඔසවන්නක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ක්‍රීඩකයන්ට සුභ පැතුම් පිරිනමමින් මෙහිදී දැනුම් දුන්නේය.

ඉතිහාසය අලුතින් ලියා තැබූ මෙම ජයග්‍රහණවලට මග පෙන්වූ පුහුණුකරුවන්, නිලධාරින් ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව සඳහන් කළ අගමැතිවරයා ක්‍රීඩා ජයග්‍රහණ හිමිකර දෙමින් රටට අභිමානයක් එක් කිරීමට කැපවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බවද අවධාරණය කළේය.

දිනේෂ් ප්‍රියන්ත හේරත් ජපානයේ ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 67.79ක දුරක් හෙල්ලය විසිකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තේය.

සමිත දුලාන් කොඩිතුවක්කු එම තරගාවලියේම හෙල්ල විසිකිරීමේ වෙනත් අංශයකින් ලෝකඩ පදක්කම දිනා ගත්තේ මීටර් 65.61ක දුරක් හෙල්ලය විසි කරමිනි.

ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු රජය ලබා දෙන සහයෝගයට සිය ප්‍රණාමය පුදකරන බව මෙහිදී පැරාලිම්පික් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමාට පැවසූහ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙරට ක්‍රීඩාව සැළැස්මකට අනුව දියුණු කිරීමට පියවර ගනු ඇතැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත්, ලේකම් බන්දුල බණ්ඩාර, හෙල්ල විසිකිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles