දීර්ඝ කාලයක් පුරා මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරවන ලද සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ නැඳුන්ගමුවේ රාජා හස්තියා අද (7) අලුයම 5.30 පමණ මියගොස් තිබෙනවා.
දේවත්වයේ මහා හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයෙන්ගෙන් එක් අයෙකි.
ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රධාන කරඬුව දරන්නා වුයේද නැදුන්ගමුවේ රාජා ඇතුයි.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු වාසනාවන්තයා වන නැදුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයායි.
කලක් රෝගාතුරව සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියා රෝගීව සිටියදීම පසුගිය වසරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම විශේෂත්වයකි.
මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට තිබෙනවා.
ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවූ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියායි.
1953 වසරේදී උපන් නැදුන්ගමුවේ රාජා මෙරටට ලැබුණේ, ඉන්දියාවෙන් ලද පරිත්‍යාගයක් ලෙසයි.
අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඩුව වැඩම කරවනු ලැබුවේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් ගෞරවයට පාත්‍රවෙමිනුයි.
උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි.
ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගිවී නැවත පැමිණීමට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද ගියා.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු වාසනාවන්තයා වන නැදුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයායි.
2005 වර්ෂයේ දී දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවයි නැදුන්ගමුවේ හස්ති රාජයා මාළිගා පෙරහැරට එක්වන්නේ.
සිය පළමු රන්දෝලි පෙරහැරට නැදුන්ගමුවේ හස්ති රාජයා එක් වන්නේ 2006 වර්ෂයේ දීයි.
ගම්පහ සිට මහනුවරට කිලෝමීටර් 90ක් ගෙවා පයින් පමණක්ම පැමිණෙන මෙම සත්ත්වයා උතුම් වූ ශ්‍රී දළදා වහන්සේව පළමු වර දැකීමේ දී මහනුවර දළදා මාළිගාවේ ඉදිරිපස ඇති වාහල්කඩින් ඇතුල්වීමට අකමැත්ත පළ කර ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.
ඉන් පසුව මෙම සත්ත්වයාව දළදා වහන්සේට භාරකොට, අටපිරිකර පූජා කළ පසුව නැදුන්ගමුවේ සිය දකුණු පාදය පළමු වරට වාහල්කඩින් ඇතුළට තැබීමට අකමැත්තක් නොපෙන්වා කටයුතු කර තිබෙනවා.
පනස් වසරකට අධික කාලයක් සිය වගකීම් සහ ආවතේව දළදා වහන්සේ වෙනුවෙන් ඉටුකළ රාජාව අවුරුදු 15ක් වනතෙක් බලා ගන්නේ පිළියන්දල ප්‍රදේශයේ දක්ෂ වෙදැදුරෙකු විසින්.
දිවිගමනට සමුදෙන විට නැදුන්ගමුවේ හස්ති රාජයාට අවුරුදු 68ක් වූ අතර, මෙම සත්ත්වයා දළදා පෙරැහැර ආරම්භ වීමට ආසන්න වන විට මාළිගාව වෙත ගමන් කරනුයේ දීර්ඝ පා ගමනකින් අනතුරුව වීම ද විශේෂත්වයකි.
එමෙන්ම පා ගමනින් ම යළි මාලිගාවේ සිට වලව්ව දක්වා ගමන් ගැනීම ද එම සත්ත්වයා සතු ලක්ෂණයක්.
වර්ෂ 1953 දී ඉන්දියාවේ මනිපූරයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙක් වන නැදුන්ගමුවේ හස්ති රාජයා මෙරටට පැමිණෙන්නේ ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් බවයි සඳහන් වන්නේ.
ඒ සිය ඥාතියෙකුගේ නිදන්ගත ව්‍යාධියක් සුව කිරීම වෙනුවෙන් ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් පිළියන්දල – නීලම්මහර විහාරබිමෙහි වාසීව සිටි දේශීය වෙදැදුරු ස්වාමීන් වහන්සේට මනිපූර් මහරාජා විසින් ත්‍යාග කොට පූජා කෙරුණු ඇත් පැටවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ නැදුන්ගමුවේ හස්ති තෙමේ යි.
එම ඇත් පැටව් දෙදෙනාගෙන් සෙසු ඇත් රජ වන්නේ මේ වනවිට මියැදී සිටින කොළඹ – ගංගාරාමයෙහි නවම් හස්ති රාජයායි.
1978 වසරේ දී එවක ප්‍රසිද්ධ ආයුර්වේද වෙදැදුරෙකු වූ නැදුන්ගමුව ප්‍රදේශයේ ධර්මවිජය වෙද රාළහාමි එනම්, වර්තමානයේ ඇත් රාජයාගේ හිමිකරු වන හර්ෂ ධර්මවිජයගේ පියා විසින් නැදුන්ගමුවේව මිලදී ගනු ලැබුවේ රුපියල් 75,000ක මුදලට හොරණ ප්‍රදේශයෙන්.
අඩි 10කට වැඩි උසකින් යුක්ත නැදුන්ගමුවේ හස්ති රාජයා උතුම් වූ ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන කරඬුව හෙවත් දන්ත ධාතුන් වහන්සේව වඩමවාලීමට තරම් වාසනාවන්තයෙකු වූ ද, සියලු බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ ද නොමද ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ මෙරට සිටි දැවැන්තම සද්දන්තයා ද වනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම හස්තියා වන නැඳුන්ගමුවේ රාජා 2006 වසරේ සිට 2021 දක්වා කාලය තුළ අවස්ථා ගණනාවකදී මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කරඬුව වැඩම කරවනු ලැබුවා.
ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසයි.
මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා සඳහන් කරනවා.