Thursday, November 14, 2024

පුටින් යුක්‍රේනයට පහර දෙන්නෙ ඇයි ?

යුක්‍රේනයට පහරදීමට මාස ගණනක් තිස්සේ සැලසුම්කළ බවට එල්ලවන චෝදනාව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රතික්ෂේප කරනවා 

නමුත් ඊයේ (24) සජීවීව රූපවාහිනිය හරහා ඔහු යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ “විශේෂ හමුදා මෙහෙයුමක්” ආරම්භකළ බව නිවේදනය කළේය. 

එම නිවේදනය කිරීමෙන් අනතුරුව යුක්‍රේනයේ කිව් අගනුවර මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවලද පිපිරීම් වාර්තා වුන අතර  රුසියානු හමුදා භටයින් 200,00කට ආසන්න ප්‍රමාණයක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය පැවසීය.

යුරෝපා මහද්වීපයේ පිහිටි විශාලම රට රුසියාව වන අතර යුක්‍රේනය දෙවැනි විශාලතම රට වෙයි.

රුසියාව සහ යුක්‍රේනය සෝවියට් දේශයේ සාමාජිකයින් වෙනවා. නමුත් සෝවියට් දේශයේ 1991 දී කඩා වැටීමත් සමගම මෙම රටවල් දෙක එකිනෙකා නොරුස්සන ස්වභාවයක් වර්ධනය වීමට පටන් ගත්තා.

රුසියානු ජනාධිපතිවරයා චෝදනා කරන්නේ යුක්‍රේනය, බටහිර ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තම රටට තර්ජනයක් බවය.

විශේෂයෙන්ම නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමය දෙස යුක්‍රේනයේ නැඹුරුව පුටින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ.     

ඔහු පවසන්නේ රුසියාව වටා ඇති බොහෝ රටවල් බටහිරට ලැදි බැවින් යුක්‍රේනය ද එසේ වුවහොත් තම රට අනාරක්ෂිත වන බවය.   

චෙක් ජනරජය, එස්ටෝනියාව, හන්ගේරියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය සහ ස්ලොවේකියාව 2004 වසරේදී යුරෝපීය සංගමයට එක්වූ අතර බල්ගේරියාව සහ රුමේනියාව 2007 දී ඊට එක්වුනා  මෙම බොහෝ රටවල් පැරණි සෝවියට් කඳවුරේ සිටි රටවල් ය.

යුක්‍රේනය ද නේටෝ සහ යුරෝපීය සංගමය හා එක් වුවහොත් රුසියාවට එරෙහිව බටහිර පවුරක් ගොඩනැගෙන බව පුටින් පවසන අතර එමගින් තම රටට කළු මුහුද ට ප්‍රවේශවීම පවා අපහසුවිය හැකි බව පුටින් පුන පුනා පවසා තිබෙනවා.
 
එරට ජනතාව 2010 සිට යුක්‍රේනය පාලනය කළ ජනාධිපතිවරයාව බලයෙන් නෙරපීමට 2014 වසරේදී සමත්විය.

යුක්‍රේනය තුළ ඇතිවූ අභ්‍යන්තර ගැටුම් වලින් අනතුරුව ජනාධිපතිවරයා එරටින් පැනගිය අතර ඒ සමගම 2014 දී රුසියානු හමුදාව යුක්‍රේනය ආක්‍රමණය කර ක්‍රිමියා අර්ධ-ද්වීපය සිය රටට ඇඳා ගත්තේය.

පුටින්, යුක්‍රේන පාලකයින්ව හඳුන්වන්නේ බටහිර රටවල රූකඩ ලෙසය. යුක්‍රේනය, නේටෝ සංවිධානයේ සාමාජිකත්වය නොගන්නා බවට එරට සහ බටහිර රටවල් සහතික වියයුතු බව පුටින් පවසයි.  ඔහු තවදුරටත් පවසන්නේ යුක්‍රේනය මධ්‍යස්ථ රටක් ලෙස කටයුතු කළ යුතු බවය.
  
රුසියානු භාෂාව බහුල වශයෙන් යුක්‍රේනයේ භාවිත වෙන අතර 2014දී ඇතිවූ සිද්ධීන් සමග දෙරට අතර සංහිඳියාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිණි.

අනතුරුව නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන්ට රුසියානු සහාය ලැබුණු අතර මේ දක්වා එම කලාපවල සිදුවූ ගැටුම්වලින් 14,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Donetsk සහ Luhansk නම් එම කලාප පාලනය කරනු ලබන්නේ රුසියානු සහාය ලබන පාලකයින් විසිනි. ඔවුන් එම කලාප ජනරජ ලෙස හඳුන්වයි.

එම කලාපවල ස්වාධීනත්වය රුසියාව පිළිගන්නා බව ජනාධිපති පුටින් මීට දින කිහිපයකට පෙර පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles