ශ්‍රී ලංකාවේ දේශපානයට සාමාන්‍යයෙන් පුතාලා හිඟ නැත. නෑදෑයෝ හිඟ නැත. පරම්පරාවෙන් දේශපාලනයට එන අය හිඟ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය හැදී ඇත්තේම පරම්පරාගත දේශපාලකයන්ගෙනි. තාත්තාගෙන් පුතාට, නැත්නම් තාත්තාගෙන් දුවට, ස්වාමියාගෙන් බිරියට… මේ ආකාරයට ලංකාවේ දේශපාලනට ආ පිරිස බොහෝය. පාර්ලිමේන්තුවේ 225 දෙනා හරියට ගැන බැලුවහොත් ඒ 225 දෙනාගෙන් 50%කටත් වඩා ඇත්තේ දේශපාලන නෑදෑකම් ඇති අයය. දේශපාලන නෑදෑකම් අතර අද වැඩියෙන්ම කියැවෙන්නේ රාජපක්ෂ පවුල ගැනය.
රාජපක්ෂ පවුලේ සහෝදරයන් සියලු දෙනාම මේ වෙනකොට ඉන්නේ පාර්ලිමේන්තුවේය. ඒ සහෝදරයන්ගේ දරුවන්ද අද පාර්ලිමේන්තුවේ සිටී. ඒ දරුවන්ට අමතරව වෙනත් නෑදෑ හිතමිත්‍රාදීන් කිහිප දෙනකුද පාර්ලිමේන්තුවේ සිටී. ඒ අයගේ රාජපක්ෂ වාසගම නැතත් ඔවුනුත් රාජපක්ෂ පවුලේ නෑදෑයෝය. මේ විදියට ගත් විට බොහෝ දේශපාලකයෝ නම්ගම් වශයෙන් අපට සඳහන් කළ හැකිය.
ඩී.එස්.ලා ඩඩ්ලිලාගේ පටන්, බණ්ඩාරනායකලාගේ පටන් සියලු දෙනා මෙහෙම නෑදෑකම් මත පාර්ලිමේන්තුවට ආ අයය. පාර්ලිමේන්තුවට මේ නෑදෑකම් මත කවුරුන් හෝ පත්වී එනවා නම් ඒ පත්වී ඒමේ වරද අපි පාර්ලිමේන්තුවට හෝ දේශපාලකයන්ට පමණක් පැවරීමෙන් නිදහස් වීමට නොහැකිය. එයට හේතුව වන්නේ මේ බොහෝ දෙනා පාර්ලිමේන්තුවට පත්ව එන්නේ ජනතා ඡන්දයෙන් නිසාය. මේ වතාවෙත් අප කියන්නට යන්නේ එහෙම නෑදකම් දේශපාලනයට ගෑවෙන තැනක් ගැනය. ඒ සිරිසේන පවුලය.
සිරිසේන පවුලේ දේශපාලනයට පිවිසි අය අතර සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන පමණය. මෛත්‍රිපාල සිරිසේනගේ නම හා සමානව අද ඩඩ්ලි සිරිසේනගේ නම කියැවුණද, ඩඩ්ලිගේ නම ලංකාවේ දේශපාලනයට ආවේ නැත. ඔහු තවම දේශපාලනයට නොපැමිණෙන්නේ ඇයි දැයි සමහර විට අපටද, ඔබටද ප්‍රශ්නයක් නැගෙනවා විය හැකිය. මේ වතාවේ අප ලියන්නට යන්නේ සිරිසේන පවුලේ පුංචි එකා ගැනය. ඒ දහම් සිරිසේනය. දහම් සිරිසේන ගැන බොහෝ තැන්වල බොහෝ අවස්ථාවල සඳහන්ව ඇති අයුරු අප දුටුවෙමු. නමුත් දහම් සිරිසේන ගැන සඳහන්ව තිබුණේ දේශපාලනයට ආ වගක් හෝ එන වගක් ගැන නොවේ.