පෞද්ගලික රෝහල් වල බිල් දැක හෘදයාබාධ ඇතිවිය හැකි බව-ඇමති රාජිත කියයි

0
326

අභාවප්‍රාප්ත බස්නාහිර පළාත් දේශපාලනඥයකු රෝහලට ඇතුළත් කර ගැනීම සඳහා පෞද්ගලික රෝහලක් රුපියල් 535,000ක බිලක් ඉදිරිපත් කර දෙදිනකින් ඔහු මිය ගිය පසු රුපියල් 985,000ක මුදලක් අයකර ඇතැයි වාර්තා වන බවත්, පෞද්ගලික රෝහල් ‍මේ ආකාරයෙන් වැරැදි රාශියක් සිදු කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

පෞද්ගලික රෝහල් සිය ඉල්ලිම් තමන් වෙත ඉදිරිපත් කළ බවත් එම ඉල්ලීම් අතරින් ඔවුන් අය කරන ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා ඇතත් එම ඉල්ලීම තමා විසින් ප්‍රතික්ෂේප කළ බවත් රාජිත සේනාරත්න මහතා කීය.

එහිදි පෞද්ගලික රෝහල් සිදු කරනු ලබන වැරදි ක්‍රියාවන් පෙන්වා දුන් බවත් එම වැරදි වලට ආසන්නම සිදුවීමක් ලෙස අලෙවි මවුලානා මහතාගේ මරණයේ සිදුවීම පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවැනි සිදුවීම්වලින් එම දේශපාලනඥයාගේ ඥාතීන්ටද එම බිල දැක හෘදයාබාධ ඇතිවිය හැකි බවත් කියා සිටියේය.

තවත් පෞද්ගලික රෝහලක් විසින් එහි ප්‍රතිකාර ලැබූ රෝගියෙකු මියගිය පසු මුදල් ගෙවන තෙක් මෘතදේහය දින 7ක් රෝහලේ තබා ගෙන සිටි බව පෙන්වා දුන් ඇමැතිවරයා තමන් එවැනි දේවල්වලට ඉඩ නොදෙන බවද පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර මහ රෝහලේ රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකරන ලද ක්‍රීඩා වෛද්‍ය ඒකකය, නේවාසිකාගාරය, අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යලය විවෘත කිරීම‍ට පැමිණි අවස්ථාවේදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here