බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත් ඉංග්‍රීසීන් ස්වදේශික බලවතුන් නොයෙකුත් තනතුරු වරදාන ලබා දෙමින් තමන් වෙත නතුකර ගත්හ. අනතුරුව උඩරට ගිවිසුමේ මූලික එකඟතා උල්ලංඝණය කරමින්ද දේශමාමක ගිහි පැවිදි නායකයින් මර්දනය කරමින්ද සියවසකට වඩා වැඩි කලක් මෙරට පාලනය ගෙන ගියහ. මේ කාලය තුළ බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව නැගී සිටි දේශප්‍රේමීන් පිරිසක් හා ඔවුන්ගේ පවුල්ද සමූල ඝාතනය කළ අතර ඇතැමුන් රටෙන් පිටුවහල් කළහ. ඔවුන්ගේ එකම අරමුණ වූයේ මෙරට සම්පත් සූරා ගැනීමත් ස්වදේශිකයින්ගේ ශ්‍රමය හා ශක්තිය හීනකර දැමීමත්ය. මුඩුබිම් පනත යටතේ මෙරට සරුසාර භූමියෙන් විශාල ප්‍රමාණයක් එංගලන්තයේ ධනවතුන්ට හිමිකර දුන් අතර ධනෝපායන මහා පරිමාණ වැවිලි ආරම්භ කර ඒවායේ අඩු කුලියට වැඩ ගැනීමට දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙනවුත් පැලපදියම් කර ජාතික හා පුරවැසි ප්‍රශ්නයක්ද නිර්මාණය කළහ. ඒ සියල්ල එසේ තිබියදී මත්පැන් නිෂ්පදනයත් අලෙවියත් සඳහා රටපුරා මධ්‍යස්ථාන ඇති කිරීමට ගත් පියවර රටේ ප්‍රධාන ජාතීන්ගේ අප්‍රසාදයට හේතුවිය. 1912 අමද්‍යප ව්‍යාපාරය මගින් දීපව්‍යාප්ත විරෝධයක් දියත් කරන ලදී. මෙයින් දැඩි සේ කුපිත වූ ඉංගිරිසි ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් වාර්මස් නවසිය පහළොවේ මුස්ලිම් කලබල සමයේ යුද නීතිය යටතේ අමද්‍යප ව්‍යාපාරයේ නියමුවන් රාජද්‍රෝහීන් හැටියට අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට කටයුතු කරන ලදී.
රටේ සාමයට හානිවන අයුරින් කිසිදු දෙයක් නොකළ ඇෆ්.ආර්.ඩී.ඇස්. සේනානායක සොහොයුරන් හේවාවිතාරණ පවුලේ සයිමන් එඩ්මන්ඩ් සී. හේවාවිතාරණ ඇතුළු අයත් පියදාස සිරිසේන සහ තවත් සිංහල ජාතිකයින් ගණනාවක්ද අත්අඩංගුවට පත්වූහ. මේ පිළිබඳව විධිමත් පියවරක් වශයෙන් එංගලන්තයේ යටත්විජිත භාර මහලේකම්වරයා හමුවට දූත පිරිසක් යවා සත්‍ය තත්ත්වය දැනුම් දීමට ඇෆ්.ආර්. සේනානායක ක්‍රියා කළේය. බන්ධනාගාරගතව සිටීම අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා ප්‍රමුඛ නියෝජිතයන් කීපදෙනකු වෙනුවෙන් අවශ්‍ය කටයුතු සැලසූ ඇෆ්.ආර්. සේනානායක මහතාට යුක්තිය ඉටුකර ගැනීමට සමත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ අසාධාරණ නියෝග නිකුත් කළ ආණ්ඩුකාරයා ආපසු කැඳවීමට යටත්විජිත භාර ලේකම් කාර්යාලය කටයුතු කළේය. මේ එඩිතර ක්‍රියාව නිසා ඇෆ්.ආර්. සේනානායක මහතා මෙරට වැසියන්ගේ මහත් ප්‍රසාදයටත් ගෞරවයටත් පත්විය.
පාලක ඉංගිරිසින්ගේ අවශ්‍යතාව පරිදි ආණ්ඩුකාරයාගේ මූලිකත්වයෙන් පැවැති ව්‍යවස්ථාදායක මණ්ඩලය මහජන ඡන්දයෙන් තෝරා ගන්න මන්ත්‍රීන්ගෙන් යුත් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව වශයෙන් ස්ථාපිත කර පවත්වාගෙන යාමට 1924දී විධිවිධාන යෙදුණි. එහිදී පිහිටුවන ලද ඡන්ද ප්‍රදේශවලින් එදා පැවැති සීමිත ඡන්ද දායකයින් පිරිසකට පමණක් මන්ත්‍රීන් පත් කිරීමේ අවස්ථාව හිමිවිය.
නව ව්‍යවස්ථාදායක සභාව සඳහා මීගමුව එක් ඡන්ද කොට්ඨාසයක් වශයෙන් පිහිටුවා තිබුණි.මීගමුව බලප්‍රදේශයට අද පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අයත්විය. වැඩිම ධනවතුන් ව්‍යාපාරිකයින්, වතුහිමියන් වැවිලිකරුවන් හා උසස් වෘත්තීන්හි නියැලුණු උගතුන් වැඩි පිරිසක් විසූයේද මීගමුව ආසන්න ප්‍රදේශයේය. ඔවුන් සියලුදෙනාම එදා පැවැති ක්‍රමය අනුව ඡන්ද බලය හිමි අයවූහ. වැඩි ජනප්‍රියත්වයක් ඇතිව සිටි අධි නීතිඥ ඇෆ්.ආර්. සේනානායක මහතා තම බාල සොහොයුරු ඩී.ඇස්. සේනානායක මහතා මෙම කොට්ඨාසය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට තීරණය කළේය.
මීගමුවේ ඉහළ පෙළේ ප්‍රජාව අතර තම ගම් ප්‍රදේශයෙන් සුදුසු අයෙක් පත් කිරීමේ කථිකාවතක් පැවැතියත් සේනානායක මහතා ඉදිරිපත් වීම ගැන සලකා බලා එතුමන්ට සහයෝගය දීමට තීරණය කළහ. පොදු අවශ්‍යතාවලදී ජාති ආගම් භේද නොසලකා යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් එඩිතරව නැගී සිටි ඇෆ්.ආර්. සේනානායක මහතාට ගරු කිරීමක් වශයෙන් එතුමාගේ සොහොයුරාට නිතරගයෙන් පත්වීමට අවස්ථාව මීගමුව ජන ප්‍රධානීන් විසින් ලබාදුනි.
මෙහි විශේෂම සිද්ධියවනුයේ එදා ඇෆ්.ආර්.ගේ කැපවීම නොවන්නට රටේ ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණි. සීමිත කොටසකට හිමිව තිබුණු ඡන්ද බලය වැඩි වශයෙන් හිමිව තිබුණේ මීගමුව හා ඒ අවට පෙදෙස්වල ප්‍රධාන පෙළේ පුරවැසියන්ටය. යම් හෙයකින් එම ප්‍රදේශයෙන් ප්‍රභූවරයකු ඉදිරිපත් වූයේ නම් ඇතිවන තරගයේ ප්‍රතිඵල සේනානායක මහතාට අහිතකර වන්නට තිබුණි. හොඳම නිදර්ශනය ලෙස 1931 මීගමුව රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී රාජපක්ෂ මුදලිතුමා කෙරෙහි පැවැති ජනප්‍රියතාවය අනුව දැකගත හැකිවිය.
1883දී මීරිගම බෝතලේ පේටර් සේනානායක මුදලිතුමාගේ පුත්‍රයෙකු වශයෙන් ජන්ම ලාභය ලද ෆෙඩ්රික් රිචඩ් සේනානායක ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලබා වැඩිදුරටත් ලන්ඩනයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත්ව අධිනීතිඥවරයකු වශයෙන් සමත්ව 1904දී මෙරටට පැමිණියේය. නීතිවේදියෙකු වශයෙන් කටයුතු කරද්දී රටේ ජාතික හා සාමාජික වැඩ සඳහා අතහිත දුන් සේනානායක මහතා 1912 රට පුරා පැතිර ගිය අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධවී එහි නායකයින් සමග මත්පැන්හල් පිහිටුවීමට එරෙහිව ක්‍රියා කළේය. 1915 යුද නීතිය යටතේ රාජද්‍රෝහීන් ලෙස හිර භාරයට ගත් ස්වදේශික නායකයින් සමග ඇෆ්.ආර්.ද අයකු විය. ඉංගිරිසි පාලකයින්ගේ අත්තනෝමතික වැඩවලට විරුද්ධව එංගලන්ත ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීමට යවන ලද නියෝජිත පිරිස වෙනුවෙන් සියලු වියහියදම් දරන ලද්දේ ඇෆ්.ආර්. සේනානායකයන් විසිනි. මෙරට නිදහස් අරගල නිසා මුල සිටම නැගී සිටි ස්වජාතිකයින් ඉංගිරිසි හමුදාවන් අතින් ඝාතනය කරනු ලැබුණි. උඩරට ගිවිසුමෙන් පසු ගතවූ වසර සියය තුළ අපේම මිනිසුන් විසින් කරන ලද පාවාදීම් හමුවේ බොහෝ නිදහස් සටන් ඒ සඳහා යොමුවූ දේශප්‍රේමීන් සමග මර්දනය කරන ලදී. ඒ සියල්ල අභිබවා නවසිය පහළොවේදී බ්‍රිතාන්‍ය පාලකයින් සමග සාකච්ඡා මගින් විසඳුමක් ලබා ගැනීමට හැකිවූයේ ඉතිහාසයේ මුල්වතාවටය. එහි සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ ඒ සඳහා කාලයත් ධනයත් ශ්‍රමයත් කැප කළ ඇෆ්. ආර්. සේනානායක ශ්‍රීමතාණන්ටය.
අධිනීතිඥ වෘත්තියෙහි යෙදෙමින් ජාතික වැඩ සඳහා සියලු අනුග්‍රහයන් ලබාදුන් එතුමා කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන්ද සේවය කළේය. ඩී.ඇස්. සේනානායක මහතා ජාතික දේශපාලනයේ යෙදුණු අතර රට නිදහස් කර ගැනීමේ කාර්යය සඳහාද නියැලුණේය. 1925 වසර අග භාගයේ පවුලේ සියලුම දෙනා සමග දඹදිව වන්දනා චාරිකාවක යෙදී සිටියදී එහිදී හටගත් උදරාබාධයක් හේතුවෙන් 1926 ජනවාරි පළමු වැනි දින අභාවප්‍රාප්ත විය.
බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබූ ශ්‍රී ලංකාව පුංචි එංගලන්තයක් වී රටේ ජනතාව ඔවුන්ගේ වහලුන් ලෙස සලකන ලද යුගයේ ඔවුන්ගේ නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකළ ඇත්ත වශයෙන්ම රටේ නායකත්වයට ඉහළම සුදුසුකම් තිබියදී ජනතා නියෝජිතයකු වශයෙන් එදා පැවැති රාජ සභාවට ප්‍රවිෂ්ටවීමට තම කනිටු සොහොයුරාට අවස්ථාව සලසා දීමට තරම් ඇෆ්.ආර්. සේනානායක කටයුතු කළේ රටේ අනාගතය සඳහා පෙළගස්වන ලද්දේ තමන්ට එතෙක් ආයුෂ නැති බව දැනගෙනද යන්න වටහාගත නොහැකි දෙයකි