Tuesday, May 21, 2024

ලංකාවේ පරිගණක සාක්ෂරතාව නැන්වීමට මයික්‍රෝසොෆ්ට් සූදානම්

ශ්‍රී ලංකා පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව මයිකේ‍රාසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප් කර්ටෝස් (Jean Philippe Courtois) මහතා පවසයි.
17 වන දා සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් මයික්‍රෝසොෆ්ට් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසුයේ අනාගතයේ කඩදාසි ලිපිගොනුවලින් තොර කාර්යාල පරිසරයක් නිර්මාණය වන බවයි. ඒ පිළිබඳ දැන් සිටම අවධානය යොමු කරලීමේ අවශ්‍යතාව හා වැදගත්කම ෂේන් පිලිප් මහතා පෙන්වා දුන්නේය.
ඒ තත්ත්වය ශ්‍රී ලංකාව මැනවින් අවබෝධ කර ගෙන ඇති බවත් ඊට අවශ්‍ය මූලික සැලසුම් දැන් සැකසෙමින් පවතින බවත් පැවැසූ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය කාර්යාල තාක්ෂණයෙන් සන්නද්ධ සුහුරු කාර්යාල බවට පත් කරලීම යහපාලන රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන්නේය.
මේ පරිවර්තනය සිදු කිරීමත් සමග සියලු කාර්යාල කාර්යක්ෂම හා තරගකාරී තලයකට ඔසවා තැබිමට හැකි වන බව ද මෙහිදී අවධාරණය කළේය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ උපදේශක මංගල යාපා යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles