චීන කොමියුනිස්ට් පක්ෂය පසුගියදා ඓතිහාසික යෝජනාවලියක් සම්මත කර ගත්තේය. එරට දේශපාලන ඉතිහාසය තුළ වත්මන් ජනාධිපති ෂී ජින් පිංගේ ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් මෙම යෝජනාවලිය සම්මත වී තිබේ. පක්ෂයේ වසර 100ක ඉතිහාසය පිළිබඳ සාරාංශයක් වන එම යෝජනාවලිය මගින් චීනයේ ප්‍රධාන ජයග්‍රහණ සහ අනාගත දිශානතිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කර තිබේ. දින හතරක් පුරා පැවැති එම සැසියට පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පූර්ණ සහ විකල්ප සාමාජිකයන් 370කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. එය ලබන වසරේ පැවැත්වෙන ජාතික කොංග්‍රසයට පෙර පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ අවසාන ප්‍රධාන රුස්වීම වූ අතර, ලබන වසරේ ෂී ජින් පිං තුන්වැනි වරටත් ජනාධිපතිවරයා ලෙස පත්වීමට අපේක්ෂිතය.
2018 දී, කොමියුනිස්ට් පක්ෂය ඔහුට ජීවිතාන්තය දක්වා බලයේ සිටීමට ඉඩ සලසමින්, ජනාධිපති ධුරයේ දෙවරකට වඩා සිටිය නොහැකි බවට වූ සීමාව ඉවත් කරනු ලැබීය.චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කෙරුණේ 1921 දී චෙන් ඩික්සියු සහ ලී ඩැසාඕගේ ප්‍රධානත්වයෙන් සෝවියට් දේශයේ ඈත පෙරදිග බියුරෝවේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සහායෙනි. සිය වසරක ඉතිහාසයක් ඇති චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු මෙවැනි යෝජනාවලියක් මින් ඉහත සම්මත කරගෙන තිබුණේ දෙවරක් පමණි. ඒ 1945දී මාඕ සේතුං සහ 1981 දී ඩෙන්ග් ෂියාඕ පිං විසින්ය. විදෙස් වාර්තා සඳහන් කළේ චීන ජනාධිපතිවරයා සුවිශේෂ ස්ථානයකට ඔසවා තබන එම යෝජනාවලිය පක්ෂයේ දේශපාලන සමුළුවකදී සම්මත වූ බවය. එවැනි යෝජනාවලියක් ඉදිරිපත් කළ තුන්වැනි චීන නායකයා ලෙස, ෂී ජින් පිං ස්ථාපිත කිරීම මෙම සමුළුවේ අරමුණය.
මාඕ සේතුං සහ ඩෙන්ග් ෂියාඕ පිංගේ යෝජනාවලි මෙන්ම මෙම යෝජනාවලියද පක්ෂයේ න්‍යාය, කැමැත්ත සහ ක්‍රියාමාර්ග ඒකාබද්ධ කිරීමට, අනාගත ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමට සහ ඊළඟ සියවසේ ඉලක්ක සහ පුනර්ජීවනය පිළිබඳ ශ්‍රේෂ්ඨ චීන සිහිනය සැබෑකර ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන කියු කුවින්ග්ෂාන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. &පක්ෂය ඉලක්ක දෙකක් අරමුණු කර තිබේ. ඉන් පළමුවැන්න 2021 අවසන් වනවිට චීනය මධ්‍යස්ථ සමෘද්ධිමත්^ සමාජයක් බවට පත් කිරීමය. දෙවැන්න 2049 වනවිට එය සම්පූර්ණයෙන්ම සංවර්ධිත, ධනවත් සහ බලවත් ජාතියක් බවට පත් කිරීම යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.ඇතැම් නිරීක්ෂකයන් මෙම යෝජනාව දකින්නේ, ඩෙන්ග් ෂියාඕ පිං යටතේ ආරම්භ වූ, ජියැංග් සෙමිං වැනි නායකයන් විසින් දශක ගණනක් පුරා විමධ්‍යගත කිරීමට උත්සාහ කළ ක්‍රියාවලියක් ආපසු හැරවීමට හා චීනය ඊනියා පෞරුෂ සංස්කෘතියකට ආපසු ගමන් කරවීමට ගත් උත්සාහයක් ලෙසිනි.
ෂී ජින් පිංගේ යෝජනාවලියේ ඇති වැදගත්කම කුමක්ද? මේ සම්බන්ධයෙන් බීබීසී සේවයට අදහස් දැක්වූ &චයිනා නීකන්* පුවත්පතේ සංස්කාරක ඇඩම් නී, &සත්‍ය වශයෙන්ම, එය ෂී ජින් පිංගේ බලය තහවුරු කරන්නක්. ඔහු උත්සාහ කරන්නේ චීන දේශපාලන වීර කාව්‍යයේ වීරයා ලෙස පෙනී සිටීමටයි, පක්ෂයේ සහ නූතන චීනය තුළ කේන්ද්‍රීය චරිතයක් වෙමින් ඓතිහාසික යෝජනාවලියක් තුළින් ඔහු තම බලය ප්‍රදර්ශනය කරයි. මෙම ලේඛනය ඔහුට තම බලය රඳවා ගැනීමට උපකාරී වන මෙවලමක් ද වනවා යැයි* ප්‍රකාශ කර තිබේ.ෂී ජින් පිං පෙර සිටි අනෙකුත් චීන නායකයන්ට වඩා වෙනස් බවත්, හිටපු නායකයන් වූ හු ජින්තාවෝ සහ ජියැංග් සෙමිංහට ෂී ජින් පිංට තරම් ඒකාධිකාරි බලයක් නොතිබූ බවත්, ඔවුන්ට එවැනි තත්ත්වයක් නිර්මාණය කරගැනීමට අවශ්‍යතාවක් තිබුණේද යන්න පිළිබඳව සැකසහිත බවත්. වර්තමානයේ බලවත් පුද්ගලයකු ලෙස ෂී ජින් පිං කෙරෙහි ලෝකයේම අවධානය යොමු වී ඇති බවත් එය වඩාත් විධිමත් ලෙස ආයතනිකකරණය වන ආකාරය මේ මොහොතේ බොහෝදෙනා විමසිල්ලෙන් බලා සිටින බවත් සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය චොං ජා ඉයන් පවසා තිබේ.
මින් ඉහත මෙවැනි යෝජනාවලි දෙකක් සම්මත කළ මාඕ සේතුං සහ ඩෙන්ග් ෂියාඕ පිං යන දෙදෙනාම එවැනි යෝජනාවලියක් ඉදිරිපත් කළේ පැරණි ප්‍රතිපත්තිවලින් මිදී නව දිශානතියක් කරා චීනය යොමු කිරීමේ අරමුණු ඇතිවය. 1945 දී පක්ෂ සැසිවාරයකදී සම්මත කරන ලද පළමු යෝජනාව මගින් 1949 දී මහජන චීන සමූහාණ්ඩුව නිර්මාණය කිරීමේදී මාඕ සේතුංහට පූර්ණ බලතල හිමි වන පරිදි ඔහුගේ නායකත්වය තහවුරු කර ගැනීමට උපකාරී විය.1978දී ඩෙන්ග් ෂියාඕ පිං නායකත්වයට පත් වූ විට, ඔහු 1981දී දෙවැනි යෝජනාව ඉදිරිපත් කළේය. එහිදී ඔහු 1966 සිට 1976 අතර කාලයේ පැවැති සංස්කෘතික විප්ලවය අතරතුර මිලියන ගණනක මරණවලට හේතු වූ මාඕගේ “දෝෂ” විවේචනය කළේය. චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අඩිතාලම දැම්මේ ඩෙන්ග් ෂියාඕ පිංය.කෙසේ වෙතත්, පෙර යෝජනා මෙන් නොව, ෂී ජින් පිංගේ යෝජනාව ඉදිරිපත් කෙරෙන්නේ චීනය ගෝලීය බලවතකු බවට පත්ව ඇති වාතාවරණයක් යටතේය. එය දශක කිහිපයකට පෙර සිහිනයක්ව පැවතුනක් විය. රටේ ආර්ථිකය මෙන්ම හමුදා බලයද, විශාල ලෙස වර්ධනය වී තිබේ. මේ වනවිට චීනය ලොව සුපිරි බලවතකුගේ තත්ත්වයට පත්වී තිබේ. ඒ සඳහා ෂී ජින් පිංගේ දායකත්වය අති විශාලය.
ඔහු සමග කොමියුනිස්ට් පක්ෂය සහ රට තවදුරටත් සාර්ථකත්වය කරා යනු ඇත. එහෙත් ඇතැම්. දේශපාලන විචාරකයන් සඳහන් කරන පරිදි චීනයේ දේශපාලනය ඇතැම් විට විස්මයජනක විය හැකිය. ඉදිරි කාලය තුළ ෂී ජින් පිං දිගටම නායකත්වයේ තබා ගැනුණද දේශපාලන කරළිය තුළ කුමක් සිදුවිය හැකිදැයි කිසිවකුට කිව නොහැකිය. විශේෂයෙන් චීනයේ ප්‍රභූ දේශපාලනය අවිනිශ්චිතය, එබැවින් අප නොදන්නා බොහෝ දේ දේශපාලනය තුළ ඇතැයි ඇත,” ඔවුහු කියා සිටිති.චීන කොමියුනිස්ට් පක්ෂයේ, චීන රජයේ සහ මහජන චීන සමූහාණ්ඩුවේ උත්තරීතර නායකයා ෂී ජින් පිංය. උත්තරීතර නායකයා යනු විධිමත් තනතුරක් හෝ නිලයක් නොවේ. මෙම තනතුර ක්‍රියාත්මක වූයේ ඩෙං ෂියාඕ පිංගේ (1978-1989) පාලන සමයේය. ඔහුට ඕනෑම අවස්ථාවක කිසිදු නිල හෝ විධිමත් ලෙස සැලකිය යුතු පක්ෂයක හෝ රජයේ හෝ තනතුරු දැරීමකින් තොරව දේශපාලන බලය ක්‍රියාත්මක කළ හැකිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, චීන මහජන සමූහාණ්ඩුවේ සභාපති හා මධ්‍යම හමුදා කොමිසමේ සභාපති වන ඔහු ජාත්‍යන්තර වේදිකාවේ හඳුන්වන්නේ ජනාධිපතිවරයා ලෙසිනි. ඔවුන්ගේ සැබෑ බලය හිමිවන්නේ ප්‍රධාන ලේකම් තනතුරිනි.
සභාපති මාඕ සේතුං 1949 ආරම්භයේ සිටම කොමියුනිස්ට් චීනයේ අවිවාදිත නායකයා වූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති සහ මහජන චීන සමූහාණ්ඩුවේ සභාපති (1954-1959) ලෙසින් සභාපති කාර්යාල තුනක බලතල එකවර දැරීය. ඔහු පිළිවෙළින් පක්ෂයේ, හමුදාවේ සහ රාජ්‍යයේ නායකයා විය. සංස්කෘතික විප්ලවයෙන් පසුව, දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ආවේක්ෂණය සහ තුලනයක් නොමැතිවීම සහ මාඕ විසින් ඇති කරන ලද පෞරුෂ පාලන ක්‍රමය හේතුවෙන් අයහපත් තත්ත්වයන් නිර්මාණය වූ බවට පක්ෂය තුළම එකඟතාවයක් ඇති විය. 1980 ගණන්වල සිට නායකත්වය, මහලේකම්, ජනාධිපති සහ අගමැති යන තනතුරු විවිධ පුද්ගලයන් විසින් දරන ලද අර්ධ වශයෙන් බලතල බෙදීමක් අත්හදා බැලීමට පසු නායකයෝ පියවර ගත්හ. උදාහරණයක් ලෙස, 1985 දී, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස හු යාඕ බෑං ද, ජනාධිපති ලෙස ලී ෂියෑනියන්ද, අගමැති ලෙස සාහෝ ෂියෑංද කටයුතු කළහ. කෙසේ වුවද ඩෙන්ග් ෂියාඕ පිංගේ නායකත්වය තවමත් අගය කිරීමට ලක්වෙමින් තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ පැරුණි සාමාජිකයකු වූ ෂි ෂොන්ග් ෂුන්ගේ පුත්‍රයා වූ ෂී ජින් පිං සංස්කෘතික විප්ලවයේ පවිත්‍රකරණ ක්‍රියාවලියේදී යැන්චුආන් ප්‍රාන්තයට පිටුවහල් කරන ලදි. යඕඩොං ගම්මානයේ ජීවත් වූ ඔහු යොවුන් වියේදීම චීන කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ විය. එම ප්‍රදේශයේ පක්ෂ ලේකම්වරයා වූ ඔහු කම්කරු, ගොවි, සොල්දාදු සිසුවෙකු ලෙස ෂින්හුවා විශ්ව විද්‍යාලයේ රසායනික ඉංජිනේරු විද්‍යාව හැදෑරීමෙන් පසුව, චීනයේ වෙරළබඩ ප්‍රදේශයන්හි දේශපාලනික කටයුතුවලට සම්බන්ධ විය. 1999 සිට 2002 දක්වා ෆුජියෑංහි ආණ්ඩුකාරවරයා වූ ඔහු 2002 සිට 2007 දක්වා ෂෙජියෑංහි ආණ්ඩුකාරවරයා විය. පසුව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බලමණ්ඩල ස්ථාවර කමිටුවට සම්බන්ධ වූ අතර 2007 ඔක්තෝබර් මාසයේදී මධ්‍යම ලේකම් කාර්යාලයේ පළමු ලේකම් ලෙස සේවය කළේය. 2008 හි හූ ජින්තාඕගේ අනුප්‍රාප්තිකයා ලෙස හා පසුව උත්තම නායකයා ලෙස නම් කරන ලදී. 2018 දී ඔහු ජනාධිපති ධුර කාල සීමාවන් අහෝසි කළේය.ෂී ජින් පිං මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු උපත ලද පළමු කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම්වරයාය.
බලයට පත් වූදා සිට ඔහු පක්ෂයේ විනය බලාත්මක කිරීමට සහ අභ්‍යන්තර සමගිය පවත්වාගෙන යාම සඳහා දීර්ඝකාලීන ක්‍රියාමාර්ග හඳුන්වා දුන්නේය. ඔහුගේ දූෂණ විරෝධී ව්‍යාපාරය දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටු සාමාජිකයකු ප්‍රමුඛ වත්මන් සහ විශ්‍රාමික කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන්ගේ පසුබෑමට බලපෑවේය. විශේෂයෙන්ම චීන-ජපාන සබඳතා, දකුණු චීන මුහුදේ චීනයේ හිමිකම්, නිදහස් වෙළෙඳාම සහ ගෝලීයකරණය සඳහා වන එහි අනුග්‍රහය සම්බන්ධයෙන් ඔහු වඩාත් ස්ථීර විදේශ ප්‍රතිපත්තියක් ප්‍රවර්ධනය කර තිබේ. එක් තීරයක් එක් මාවතක් නමැති සංකල්පය ඔස්සේ අප්‍රිකානු සහ යුරේසියානු කලාපයට චීනයේ බලපෑම පුළුල් කිරීමට ඔහු උත්සාහ කර තිබේ.
දේශපාලන විශ්ලේෂකයන් ඔහු හඳුන්වන්නේ ඒකාධිපතියකු හෝ ඒකාධිපති නායකයෙකු ලෙසිනි. වාරණය සහ මහජන නිරීක්ෂණ වැඩිවීම, මානව හිමිකම්වල පිරිහීම, ඔහු වටා වර්ධනය වන පෞරුෂ සංස්කෘතිය සහ නායකත්වය සඳහා වන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහුට විවේචන එල්ල වී තිබේ. ඔහුගේ දේශපාලන මතවාද පක්ෂයට සහ ජාතික ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි විවේචන ඒල්ල වේ. මහජන ජනරජයේ පස්වන පරම්පරාවේ නායකත්වයේ කේන්ද්‍රීය චරිතය ලෙස, අලුතින් පිහිටුවන ලද ජාතික ආරක්ෂක කොමිෂන් සභාවේ සභාපතිත්වය මෙන්ම ආර්ථික හා සමාජීය නව මෙහෙයුම් කමිටු ඇතුළු පුළුල් පරාසයක නායකත්ව තනතුරු ලබා ගනිමින් ෂී ජින් පිං ආයතනික බලය සැලකිය යුතු ලෙස තමා වෙත කේන්ද්‍රගත කරගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
ප්‍රියන්ජන් සුරේෂ්ද සිල්වා විසිනි